නිදහස් අධ්‍යාපනයට වැඩියෙන්ම මුදල් වෙන් කෙළේ වත්මන් ආණ්ඩුවයි

Sep 10, 2019 09.16am
feature-top
කහතුඩුවේ දී අගමැති කියයි

නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් වැඩිම මූල්‍ය ප්‍රතිපාදන වෙන් කළ ආණ්ඩුව වත්මන් ආණ්ඩුව බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසුවේ ඊයේ (9) 'හොදම පාසල ළගම පාසල' ව්‍යාපෘතිය යටතේ දිවයිනේ දිස්ත්‍රික්ක සියල්ල ආවරණය වන පරිදි පාසල් ගොඩනැගිලි 500ක් සිසු අයිතියට පත්කිරීමේ වැඩසටහනේ සමාරම්භක උත්සවය වන කහතුඩුව, වෙනිවැල්කොළ ප්‍රදේශයේ විශේෂ අවශ්‍යතා සහිත සිසු, සිසුවියන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා ස්ථාපනය කෙරුණු ශිෂ්‍යයෝදා ජාතික සම්පත් හා තොරතුරු මධස්ථානය සිසු අයිතියට පත්කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

ළගම පාසල හොඳම පාසල වැඩසටහන යටතේ විවෘත වන ගොඩනැගිලි 500ය සඳහා ආණ්ඩුව රුපියල් මිලියන දස දහසක් ආයෝජනය කැර තිබේ.

'ශිෂ්‍යයෝදා' විශේෂ හා අන්තර්කරණ අධ්‍යාපනය පිළිබඳ ජාතික ආයතනය මෙරට අධ්‍යාපන පද්ධතියට දායාද කරනු ලබන්නේ සෑම දරුවකුට ම අධ්‍යාපනයේ සමාන අවස්ථා ලබාදීමේ දයාර්ද්‍ර හැඟීම පෙරදැරිවය. මේ සඳහා ආණ්ඩුව රුපියල් මිලියන 360ක් ආයෝජනය කැර තිබේ.

එහිදී ශිෂ්‍යයෝදා මධ්‍යස්ථානයේ ඉදිකළ පරිපාලන හා තක්සේරු කරණ දෙමහල් ගොඩනැඟිල්ල, ශ්‍රවණාගාරය, සුහුරු පන්තිකාමර සහිත තෙමහල් ගොඩනැගිල්ල, දේශන ශාලාව අගමැතිවරයා විවෘත කරනු ලැබීය. ඉන් අනතුරුව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාසලේ නීරීක්ෂණ චාරිකාවක් සඳහා සහභාගී විය.

අනතුරුව ස්නායු ආබාද ඇති සිසුන්ට උද්දීපන ජල සම්බාහනය සඳහා විශේෂ ක්‍රමයකට අනුව ඉදිකළ පිහිණුම් තටාකයේ පාසල් දරුවන් සම්භාහනයේ යෙදෙන අයුරු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා නිරීක්ෂණය කෙළේය. පාසලේ සිසුන් 100කට පමණ නේවාසිකව අධ්‍යාපනය ලැබීමට අවශ්‍ය නේවාසිකාගාරයක් ඉ දිකැර තිබේ.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය.

එක් පිරිසකට පමණක් සීමා වී තිබූ අධ්‍යාපන ක්‍රමය වත්මන් ආණ්ඩුව මඟින් සැමට සමසේ ලබාදීම සඳහා භෞතික සම්පත් සහ මානව සම්පත් ලබාදීමට හැකි වූණා. අද වසර 13ක අනිවාර්ය අධ්‍යාපන සංකල්පය අද ක්‍රියාවෙන් ඔප්පුකර පෙන්වා දී තිබෙනවා. විශේෂ අවශ්‍යතා ඇති සිසු සිසුවියන් වෙනුවෙන් ලංකාවේ ප්‍රථම වතාවට අංග සම්පූර්ණ පාසලක් විවෘත කළා. විශේෂ අවශ්‍යතා ඇති දරුවන්ට පාසල මඟින් සියළු දෙනාටම අධ්‍යාපනයේ සම අයිතිය හිමිවිය යුතු බව අද අපි පෙන්වාදී තිබෙනවා.

මා නිදහස් අධ්‍යාපනයෙන් බිහි වූ කෙනෙක්. ලංකාවේ විශ්වවිද්‍යාලයෙන් නීති උපාධිය හැදෑරුවේ. මට සමහර අවස්ථාවන් වල පෙනුනා සෑම කෙනාටම අධ්‍යාපනයේ සම අයිතිය ලැබුණේ නෑ. ඒ කාලයේ බොහෝ දෙනකුට පාසල් යන්නවත් අවස්ථාව තිබුණේ නෑ. එය වෙනස් කිරීම සඳහා වැඩකටයුතු කරන්න එදා අධ්‍යාපන අැමැතිවරයා ලෙස මට අවස්ථාව ලැබුණා.

පළමුවෙන් ජේ.ආර් ජයවර්ධන මැතිතුමා නොමිලේ පොත් දුන්නා. ඒ වගේම පාසල් ගොඩනැගිලි සහ ගුරුවරුන් ලබා දෙන්න ක්‍රියා කළා. නමුත් විශේෂ අවශ්‍යතා ඇති දරුවන්ට අධ්‍යාපනය ලබන්න මෙතෙක් කල් අවස්ථාව ලැබුණේ නෑ. ඒ නිසා ස්වීඩනයේ සීඩා ආයතනය සමඟ සාකච්ඡා කර විශේෂ අධ්‍යාපනය ලැබිය යුතු දරුවන් සඳහා සැලැස්මක් ආරම්භ කළා. එම වැඩසටහන සම්පූර්ණයෙන්ම සාර්ථක වී තිබෙනවා. මේ පිළිබඳව අපි සතුටු වෙනවා. අද කිසිදු දරුවකු විදිමත් අධ්‍යාපනයෙන් අතහැරෙන්නේ නෑ. ගිහි, පැවදි ස්වාමීන්වහන්සේලා වෙනුවෙන් පිරිවෙන් අධ්‍යාපනය ආරම්භ කළා. මේ සියළු වැඩකටයුතු අපි සාර්ථකව ඉදිරියට ගෙන ගියා. නිදහසින් පසු ලංකාවේ අධ්‍යාපනයට සහ සෞඛ්‍යට වැඩිපුරම මුදල් ආයෝජනය කර තිබෙන්නේ මේ ආණ්ඩුව කියා අපිට ආඩම්බරයෙන් කියන්න කැමතියි.

අද එක් දිනක් තුළ පාසල් ගොඩනැගිලි 500ක් සිසු අයිතියට පත්කරනවා. අපි ආණ්ඩුව භාරගන්න කලින් වසරකට විවෘත කෙළේ ගොඩනැගිලි 250ක් විතර. අපි අධ්‍යාපනය වෙනුවෙන් පහසුකම් ලබාදෙන්න මුදල් යොදවා තිබෙනවා. මීට පෙර මෙම වැඩසටහන යටතේ එක් දිනකදී ගොඩනැගිලි 200ක් විවෘත කළා. ඊට පෙරත් එක් දිනකදී ගොඩනැගිලි 100ක් විවෘත කළා. මේ සියල්ලම එක දිනකදී විවෘත කරන්නේ මා අධ්‍යාපන ඇමැතිතුමාගෙන් ඇහුවා තව ගොඩනැගිලි කීයක් තියෙනවාද විවෘත කරන්න කියා. මා අධ්‍යාපන ඇමැතිතුමාට කිව්වා පාර්ලිමේන්තුවේ කාලසීමාව එළැඹෙන වසරේදී ඉවරයි, ජනාධිපති කාලසීමාව ඉවර මේ වසරේ .ඒ නිසා හැමදාම ගියත් මේව විවෘත කරන්න හමුවන්නේ නෑ. ඒ නිසා තමයි අපි එක් දිනකදී ගොඩනැගිලි 500ක් විවෘත කිරීමේ වැඩසටහන ක්‍රියාත්මක කෙළේ. තව ගොඩනැගිලි 500ක් තිබෙනවා. ඒ ටිකත් හැකි ඉක්මනින් විවෘත කරනවා.

ගමේ පාසල්වලට යටිතල පහසුකම්, ගොඩනැගිලි, පීනුම් තටාක, වැසිකිලි, ආපනශාලා, පුස්තකාල මේ සියල්ලටම අපි භෞතිකපහසුකම් ලබාදෙනවා. ඊට අමතරව පුහුණු ගුරුවරුන් අපි ලබාදෙනවා. නොපුහුනු ගුරුවරුන් ඉන්න බෑ. මා එදා ආරම්භ කළ විද්‍යාපීඨ මඟින් අධ්‍යාපන ඩිප්ලෝමා ලැබූ ගුරුවරුන් 85000ක් සිටිනවා. අද පුහුණු ගුරුවරුන් පමණක් සිටින අධ්‍යාපන ක්‍රමයක් තිබෙන්නේ කියා අපිට කියන්න පුළුවන්. ඒ වගේම විදුහල්පතිවරුන් පුහුණු කරනවා. අපි මේ සියළු වැඩකටයුතු කරන්නේ මේ රටේ අනාගත පරපුරට හොද අනාගතයක් නිර්මාණය කරන්න කියා කියන්න කැමතියි. අපි අනාගතයට ගැලපෙන අධ්‍යාපනක් නිර්මාණය කිරීම සඳහා කොම්පියුටර් ටැබ් යන්ත්‍ර උසස් පෙළට ලබාදෙනවා. අපි 21වැනි ශත වර්ෂයට අවශ්‍ය අධ්‍යාපනයක් නිර්මාණය කරනවා. අපි අධ්‍යාපනය වෙනුවෙන් මෙතරම් මුදලක් ආයෝජන කරන්නේ ඒ නිසයි. අපි දැන් පාසල් අධ්‍යාපන රාමුව සකසා අවසන් ඒ සදහා අවශ්‍ය නීති ඉදිරියේදී ඉදිරිපත් කරනවා. ඉදිරි වසර 10 තුළ මෙම වැඩසටහන ඉදිරියට ගෙනයනවා නම් ලෝකයේ හොදම අධ්‍යාපන ක්‍රමයක් ලංකාවේ ඇතිවෙනවා. පාසල් අධ්‍යාපනය පමණක් නොවෙයි උසස් අධ්‍යාපනය අපි දියුණු කර තිබෙනවා. ලංකා ඉතිහාසයේ වැඩිම පීඨ ගණනක් ආරම්භ කෙළේ වත්මන් ආණ්ඩුව යටතේ. අපි පීඨ 21ක් ආරම්භ කර තිබෙනවා. දැනට වෛද්‍යපීඨ දෙකක් ආරම්භ කර තිබෙනවා, ඉන්ජිනේරු පීඨයක්, කළමනාකරණ පීඨයක්, තාක්ෂණික පීඨයක් අපි ආරම්භ කර තිබෙනවා. අපි විශ්වවිද්‍යාලය ශිෂ්‍ය නේවාසිකාගාර 100ක් ඉදිකළා. සිසුන් 40000කට නේවාසිකාගාර පහසුකම් ලබාදී තිබෙනවා. ගුරුවරුන් බදවා ගත්තා විශ්වවිද්‍යාලවල පඩිවැඩි කළා, දැන් වෘත්තීය අධ්‍යාපනය දියුණු කරගෙන යනවා, නව පාඨමාලා වර්තමානයට අවශ්‍ය ලෙස අලුත් කළා, වසර 13 අඛන්ඩ අධ්‍යාපනය මගින් සිසු, සිසුවියන්ට දීවීතීය අධ්‍යාපනයක් ලබාදෙන්න වෘත්තීය අධ්‍යාපන ආයතන සියල්ල පුළුල් කරනවා.මනා අධ්‍යාපනයක් සහ සෞඛ්‍යමත් පිරිසක් බිහිකිරීම අපේ ආණ්ඩුවේ ප්‍රතිපත්තියයි. ඒ සඳහා සෞඛ්‍ය සේවයේ ප්‍රතිසංස්කරණ රැසක් කර තිබෙනවා. පාසල් සිසුන් සඳහා පාසල් අධ්‍යාපනය ලබන කාලය පුරා අපි රක්ෂණයක් ලබාදීමට පියවර ගෙන තිබෙනවා.

මෙම අවස්ථාව සදහා අධ්‍යාපන අැමැති අකිල විරාජ් කාරියවසම්, හෝමාගම ප්‍රධාන ආසන සංවිධායක එරංග වැලිඅංගේ, අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් එම්.එන් රණසිංහ ඇතුළු රජයේ නිලධාරීන් රැසක් සහභාගී වුහ.

උපුටා ගැනීම දිනමිණ පුවත් පත ඇසුරෙනි

More News »