අධ්‍යාපනයේ ගුණාත්මක බව ඇති වන්නේ ගුරුවරුන්ගේ දැනුම අලුත් වීමෙන්

Sep 10, 2019 09.15am
feature-top
අන්තර් ජාතික ජල රොකට් තරගාවලියේ ප්‍රථම ස්ථානයට හිමි රන් පදක්කම දිනා ගත් කැකිරාව මධ්‍ය මහා විද්‍යාලයේ අයෝධ්‍ය කරවිට චන්ද්‍රසේකර ශිෂ්‍යයාට ජනාධිපතිවරයා ත්‍යාගයක් පිරිනැමූ අයුරු ඡායාරූපය - සුදත් මලවීර

කැකිරාවේ දී ජනපති කියයි

අධ්‍යාපනයේ ගුණාත්මක සංවර්ධනය වෙනුවෙන් ගුරු පරපුර නිරන්තරයෙන් දැනුමෙන් යාවත්කාලීන විය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව ප්‍රකාශ කෙළේ ඊයේ (9) පෙරවරුවේ කැකිරාව මධ්‍ය විද්‍යාලයීය ශ්‍රවණාගාරයේ පැවති උතුරු මැද පළාත් උපාධිධාරි ගුරු පත්වීම් ප්‍රදානෝත්සවය අමතමිනි.

උතුරු මැද පළාතේ ගුරු පුරප්පාඩු පියවමින් සිංහල මාධ්‍ය ගුරුවරුන් 428ක්, දෙමළ මාධ්‍ය ගුරුවරුන් 100ක් සහ ඉංග්‍රීසි මාධ්‍ය ගුරුවරුන් 11 දෙනෙකු ඇතුළු උපාධිධාරි ගුරුවරුන් 538 දෙනකු වෙනුවෙන් ගුරු පත්වීම් ප්‍රදානය කිරීම මෙහි දී සිදු වූ අ තර සංකේතාත්මක ව ජනාධිපතිවරයා අතින් කිහිප දෙනකු වෙත පත්වීම් ලිපි පිළිගැන්විණි. අන්තර් ජාතික ජල රොකට් තරගාවලියේ ප්‍රථම ස්ථානයට හිමි රන් පදක්කම හා එම තරග ඉසව්වේ රන් පදක්කම දිනා ගත් කැකිරාව මධ්‍ය මහා විද්‍යාලයේ අයෝධ්‍ය කරවිට චන්ද්‍රසේකර ශිෂ්‍යයා ඇගයීමේ ත්‍යාගය පිරිනැමිම ද ජනාධිපතිවරයා අතින් සිදු කෙරිණි.

මෙහි දී අදහස් දැක්වූ ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කෙළේ දැනුමෙන් සහ වෙනස් වන ලෝකයට ගැළපෙන නිර්මාණාත්මක කුසලතාවලින් පරිපූර්ණ අනාගත පරපුරක් බිහි කිරීම මෙන්ම නවීන තාක්ෂණය සමඟ ඉදිරියට යන, දරුවන්ගේ අධ්‍යාත්මික ගුණවගාවන් ද පෝෂණය කරමින් යහපත් පරපුරක් ගොඩනැඟීමට අද දවසේ ගුරුවරයා වෙත පැවරී ඇති වගකීම අතිමහත් බවයි.

උතුරු මැද පළාත් ආණ්ඩුකාර සරත් ඒකනායක මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන දුමින්ද දිසානායක, වීරකුමාර දිසානායක, චන්දිම ගමගේ යන මහත්වරුන් ඇතුළු ප්‍රදේශයේ මහජන නියෝජිතයන් රැසක් සහ රාජ්‍ය නිලධාරින්,පත්වීම් ලාභීන් සහ දෙමාපියන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක් ව සිටියහ.

උපුටා ගැනීම දිනමිණ පුවත් පත ඇසුරෙනි

More News »