හිටපු ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරිට අධිචෝදනා

Aug 08, 2019 09.36am
feature-top
තාජුඩීන් ඝාතනයේ සාක්කි වසන් කිරීම:
* අදාළ වරදකරුවන් නීත්‍යනුකූල දඬුවමින් ආරක්ෂා කිරීම
* සාක්ෂි අතුරුදන් කිරීම
* තාජුඩීන්ගේ අස්ථි කොටස් අතුරුදන් කිරීම

රගර් ක්‍රීඩක මොහොමඩ් වසීම් තාජුඩීන්ගේ ඝාතනය පිළිබඳ අදාළ වරදකරුවන් නීත්‍යනුකූල දඬුවමින් ආරක්ෂා කිරීම, සාක්ෂි අතුරුදන් කිරීම සහ තාජුඩීන්ගේ අස්ථි කොටස් අතුරුදන් කිරීම පිළිබඳ කොළඹ හිටපු ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරි මහාචාර්ය ආනන්ද සමරසේකර මහතාට එරෙහිව නීතිපතිවරයා කොළඹ මහාධිකරණයේ අධිචෝදනා ගොනු කළේය.

නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරි රජයේ අධිනීතිඥ නිෂාරා ජයරත්න මෙනවිය මේ බව පවසමින් වැඩිදුරටත් මෙසේ සඳහන් කළාය.

වසීම් තාජුඩීන් ඝාතනය කර ඇති බව දැනගෙන ඒ බව විශ්වාස කිරීමට කරුණු තිබියදී චුදිත මහාචාර්ය සමරසේකර මහතා මරණකරුගේ ශරීරයේ අස්ථි කොටස් අස්ථානගත කිරීම හෝ ඒ සඳහා ඉඩකඩ සලසා තිබේ. එනම් මරණකරු වන තාජුඩීන්ගේ කළවා අස්ථි සහ පපු අස්ථිය අස්ථානගත කිරීමෙන් දණ්ඩනීති සංග්‍රහයේ 198 වැනි වගන්තිය යටතේ චුදිත දඬුවම් ලැබිය හැකි වරදක් සිදු කර තිබෙන බවත් මහාධිකරණයේ ගොනු කළ අධිචෝදනාවේ දැක්වෙයි.

තාජුඩීන්ගේ පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කරන ලෙසට අධිකරණය නියම කර තිබෙන්නේ වෛද්‍ය ආනන්ද සමරසේකර මහතාටය. අධිකරණ නියමය පැහැර හරිමින් පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීම කනිෂ්ඨ වෛද්‍යවරුන් දෙදෙනකුට පවරා වෛද්‍ය සමරසේකර මහතා කාර්යාලයෙන් පිටවී ගොස් ඇති බවටත් සාක්ෂි අනාවරණය වී තිබේ.

හදිසි අනතුරක් සහ ගින්නක ප්‍රතිඵලය ලෙස තාජුඩීන්ගේ මරණය සිදුවුණ බවට වෛද්‍ය ආනන්ද සමරසේකර මහතාගේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවේ සඳහන්ව තිබුණා. ඊට හාත්පසින්ම වෙනස් කාරණයක් දෙවන වරට අධිකරණ නියමයෙන් පැවැති වෛද්‍ය පරීක්ෂණ මණ්ඩලය නිකුත් කළ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවේ සඳහන්ව තිබේ. විශේෂ වෛද්‍ය මණ්ඩලයේ පශ්චාත් වෛද්‍ය පරීක්ෂණ වාර්තාවට අනුව තාජුඩීන්ගේ මරණයට හේතුව මොට ආයුධයකින් සිදු කළ පහරදීමකින් බහුවිධ තුවාල සහ ගින්නක ප්‍රතිඵලය ලෙස සිදුවී තිබෙන බවට වෛද්‍ය සාක්ෂි මගින් හෙළිදරව් වී තිබේ.

පශ්චාත් මරණ පරීක්ෂණය කනිෂ්ඨ වෛද්‍යවරුන් දෙදෙනකු සිදුකර ඥාතීන්ට මෘත දේහය භාරදීමෙන් පසුව නැවත එම මෘතදේහය කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරි කාර්යාලය වෙත චුදිත වෛද්‍ය සමරසේකර ගෙන්වාගෙන තිබේ. ඉන්පසුව මෘතදේහයෙන් විවිධ අස්ථි කොටස් ඉවත්කර තිබෙන බවටත් සාක්ෂි අනුව අනාවරණය වී තිබේ.

වෛද්‍ය සමරසේකර මහතා විසින් මෙම අස්ථි කොටස් ඉවත් කර ගනිමින් වැඩිදුර විමර්ශන සිදුකළ බවට පවසා තිබුණත් එම අස්ථි කොටස් සම්බන්ධව එවැනි විමර්ශනයක් සිදුකර නැති බවත් අනාවරණය වී තිබේ.

ඝාතනයට ලක්වුණ වසීම් තාජුඩීන්ගේ අස්ථි කොටස් වෛද්‍ය සමරසේකර යන අයගේ භාරයේ පැවැතියත් පසුව එම අස්ථි කොටස් අස්ථානගතව ඇති බවට පරීක්ෂණ මගින් හෙළිකරගෙන තිබේ.

රජයේ රසපරීක්ෂක වාර්තාව ලැබී තිබුණත් පශ්චාත් මරණ පරීක්ෂණය පිළිබඳව අවසන් වාර්තාව නිකුත් කිරීමට වෛද්‍ය සමරසේකර මහතා වසර දෙකකට වැඩි කාලයක් ප්‍රමාද කොට තිබෙන බවටත් තොරතුරු ලැබී තිබේ. මේ කරුණු වෛද්‍ය සමරසේකරට එරෙහිව පවතින අනාවරණය කළ හැකි කරුණුය. තවත් සාක්ෂි රැසක් මේ වනවිට සොයාගෙන තිබේ.

වසර 2012 මැයි මස 17දා රාත්‍රියේ WP KQ 6543 අංකය දරන කාර් රථය කොළඹ නාරාහේන්පිට ශාලිකා ක්‍රීඩාංගණය අසල ගිනිගනිමින් පැවතියේය. එය දුටු පදිකයකු 119 පොලිස් හදිසි ඇමතුම් යටතේ මෙම සිදුවීම දැනුම් දීමෙන් පසු ගිනි නිවන හමුදාව පැමිණ ගින්න නිවා රථය පරීක්ෂාවට භාජනය කර තිබේ. එහිදී වසීම් තාජුඩීන්ගේ දැවුණ මෘත ශරීරය රථයේ ඉදිරිපස මගී අසුනේ තිබී සොයාගත් බවට අනාවරණය කරගෙන ඇත.



උපුටා ගැනීම දිනමිණ පුවත් පත ඇසුරෙනි

More News »