රු. කෝටි 14ක දඩ ආදායම්

Jul 29, 2019 09.19am
feature-top
රට පුරා දින විසිදෙකකදී බීමත් රියැදුරන් අල්ලන මෙහෙයුමෙන්

බීමත්ව රිය පදවන රියදුරන් කොටුකර ගැනීම සඳහා සමස්ත දිවයිනම ආවරණය වන පරිදි පසුගිය දින 22ක් පුරා දැවැන්ත මෙහෙයුමක් ක්‍රියාත්මක වූ අතර අත්අඩංගුවට ගන්නා ලද රියදුරන්ගෙන් දඩ මුදල් හරහා එම දින විස්ස පුරා ලැබුණ ආදායම රුපියල් දාහතර කෝටි විසිහතර ලක්ෂයක් බව පොලිසිය කියයි. පොලිස් රථවාහන ආඥා පනත යටතේ ඉතිහාසයේ ප්‍රථම වතාවට බීමත් රියදුරන්ගෙන් මෙතරම් අතිවිශාල දඩමුදලක් අයකරගත් ප්‍රථම අවස්ථාව මෙය වේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී නීතිඥ රුවන් ගුණසේකර මහතා පවසා සිටියේ රියදුරන් 5924 පිරිසක් කොටුකර ගැනීම තුළින් මෙම අතිවිශාල දඩමුදල අයකරගත් බවයි.

මතට තිත තැබීමේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ යෝජනාවකට අනුව එතුමා යටතේ පවතින නීතිය හා සාමය අමාත්‍යාංශය යටතේ සිදුකෙරෙන මෙම දැවැන්ත මෙහෙයුමට රථවාන පොලිස් නිලධාරීන් පන්දහසකට වැඩි පිරිසක් යොදවාගෙන තිබේ.

බීමත්ව රිය පදවන රියදුරන් විසින් පසුගිය කාලය තුළ සිදුකරන ලද මරණ සංඛ්‍යාව ඉතා විශාල වන අතර එම අනතුරුවලින් බරපතල තුවාල ලැබූ සංඛ්‍යාව පන්දහස ඉක්මවා යයි.

මෙතරම් විශාල ප්‍රමාණයක් අනතුරට ලක් කරමින් නොසැලකිලිමත් කම නිසා සිදුවන මෙම මහා ඛේදවාචකයට ස්ථිර විසඳුමක් ලබා දීම රජයේ ප්‍රධානම ඇරඹුණ වන බැවින් මේ වන විට සිදුවෙමින් පවතින මෙහෙයුම් තවදුරටත් නොකඩවා පවත්වාගෙන යාමට පියවර ගෙන තිබේ.

බීමත්ව රිය පදවන පුද්ගලයෙකු පොලිසියට කොටුවීමෙන් පසු ඔහු බේරා ගැනීමට කටයුතු කරන පුද්ගලයන්ටද තරාතිරම නොබලා නීති මඟින් කටයුතු කරන බව පොලිසිය පවසයි.

මෙසේ බීමත්ව රිය පදවා පොලිසියට කොටුවූ පිරිස අතර රියැදුරු බලපත්‍රයක් නොමැති අ යද, බීමත් කමට අමතරව මාර්ග නීති කඩකිරීම ඇතුළු තවත් බො‍හෝ වැරැදිවලට හසුවී ඇත. ඒ අනුව ඔවුන්ට රුපියල් විසිපන්දහස, පනස්දහස සහ රුපියල් හැත්තෑ අටදහස දක්වාද දඩ ගෙවීමට සිදුවී තිබේ.

ඊට අමතරව ඔවුන්ගේ රියදුරු බලපත්‍ර මාස තුන , වසරක් සහ සදහටම ජීවිතාන්තය දක්වාද අත්හිටුවීම සිදුවී ඇත.

මේ අනුව රථවාහන පොලිසිය මඟින් දීපව්‍යාප්තව සිදුකරන ලද මෙම මෙහෙයුම තුළින් බීමත්ව රිය පදවන රියැදුරු සංඛ්‍යාව සියයට හැටක පමණ වූ විශාල ප්‍රතිශතයකින් අඩුවී ඇති බව රථවාහන පොලිසිය කියයි.

උපුටා ගැනීම දිනමිණ පුවත් පත ඇසුරෙනි

More News »