ඇවන්ගාඩ් සභාපති ඇතුළු 8ක් අත්අඩංගුවට ගන්න

Jul 06, 2019 09.28am
feature-top
නීතිපතිගෙන් වැ. බ. පොලිස්පතිට උපදෙස්

ඇවන්ගාර්ඩ් මෙරිටයිම් සමාගමට අයත් පාවෙන අවි ගබඩාවට අදාළ ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ වන නඩුවේ සැකකරුවන් ලෙස ඇවන්ගාර්ඩ් මෙරිටයිම් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති ඇතුළු 08 දෙනෙක් වහා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට නීතිපතිවරයා වැඩ බලන පොලිස්පතිවරයාට උපදෙස් ලබා දුන්නේය.

සැකකරුවන් ලෙස නම් කර ඇති නිශ්ශංක සේනාධිපති රටින් පිටව ගොස් ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නීතිපතිවරයාට දන්වා ඇතැයි නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිණී රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න මහත්මිය පවසයි.

වඩුගේ පාලිත පියසිරි ප්‍රනාන්දු, කරුණාරත්න බණ්ඩා අධිකාරි එගොඩවෙලේ, පී. බී. ප්‍රේමචන්ද්‍ර, යාපාහෙට්ටි පතිරැන්නැහැලාගේ නිශ්ශංක යාපා සේනාධිපති, විශ්වජිත් නන්දන දියබලනගේ, දිසානායක මුදියන්සේලාගේ සමන් දිසානායක, ඩී. ඒ. එස්. දමයන්ති ජයරත්න හා වික්ටර් සමරවීර යන අය අත්අඩංගුවට ගැනීමට එසේ උපදෙස් ලබාදී ඇත.

ගිනි අවි ආඥා පනත යටතේත් පුපුරන ද්‍රව්‍ය ආඥා පනත යටතේත් හා ලංකා දණ්ඩ නීති සංග්‍රහය යට‍‍තේ සැකකරුවනට විරුද්ධව චෝදනා නඟා ඇත.

සැකකරුවන් ලෙස නම් කර අපරාධ නඩු විධාන සංග්‍රහය යටතේ ප්‍රතිපාදන මත කටයුතු කර ඔවුන්ගේ ප්‍රකාශ වාර්තා කර ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඔවුන් නොපමාව අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙසට නීතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් ලබාදී ඇත.

නිශ්ශංක සේනාධිපති ඇතුළු 05 දෙනකු සැකකරුවන් ලෙස අත්අඩංගුවට ගැනීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිෂ්ප්‍රභ කරන ලදී.

නිශ්ශංක සේනාධිපතිට අමතරව සැකකරුවකු ලෙස නම් කර සිටින විශ්වජිත් නන්දන දියබලනගේ ද විදෙස්ගත වී ඇති බවට රහස් පොලිසිය නීතිපතිවරයාට දැනුම් දී ඇත.



උපුටා ගැනීම දිනමිණ පුවත් පත ඇසුරෙනි

More News »