සුදු ජූලිය වැඩසටහනින් වරප්‍රසාද-සහන රැසක් ජනතාවට

Jul 02, 2019 09.15am
feature-top
සුදු ජූලිය වැඩසටහන මඟින් ජනතාවට වරප්‍රසාද සහ සහන රැසක් ලැබෙන බව ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ලාල් බණ්ඩාරිගොඩ මහතා පැවසීය.

ඒ අනුව පසුගිය අය වැයෙන් ලබාදීමට යෝජනා කළ වරප්‍රසාද ක්‍රියාවට නැංවීමත් අප්‍රේල් 21 ඛේදවාචකයෙන් ඇද වැටුණු ව්‍යාපාර සහ අසීරුතාවට පත් වූ ජනතාවට සහන ලබදීමේ මෙහෙයුම ඊයේ සිට ක්‍රියාත්මක කළ බවත් ඒ මහතා මෙහිදී සඳහන් කළේ ය.

රජයේ සංවර්ධන වැඩසටහන් සහ වර්තමාන අභියෝග පිළිබඳ මාධ්‍යයට අදහස් දැක්වීම ඊයේ (1) අරලියගහ මන්දිරයේ දී පැවැති අවස්ථාවේ දී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මේ බවද කියා සිටියේය.

රාජ්‍ය සේවකයන්ගේ වැටුප් සහ දීමනා ඉහළ නැංවීම සඳහා රාජ්‍ය සේවකයන් 1,100,000 සඳහා රුපියල් මිලියන 39,365ක් රුපියල් 2500ක අන්තර් කාලීන දීමනාවක් පසුගිය අය වැයෙන් වෙන් කර තිබුණා. දැනට ගෙවන රුපියල් 7800 ජීවන වියදම් දීමනාව අඛණ්ඩව එලෙසම ගෙවනවා.

මේ රජය පසුගිය වසර පහක කාලයේ රජයේ සේවකයන්ගේ වැටුප දෙගුණයකටත් වඩා වැඩි ප්‍රමාණයකින් ඉහළ නැංවූවා.

පාස්කු ප්‍රහාරය නිසා පසුබෑමකට ලක්වූ සංචාරක ව්‍යාපාරය සඳහා ද පොලී රහිත ණය ලබා දීමට තීරණය කළා.

වසර 21ක් තිස්සේ සමෘද්ධි දීමනාව ලබා ගැනීමට නොහැකිවූ අය සඳහා එම සහනාධාරය ලබා දීමට එක්සත් ජාතික පක්ෂයට හැකි වුණා. ඒ අනුව අලුතෙන් පවුල් ලක්ෂ 06 කට සමෘද්ධි සහනාධාරය ලබා දීමට හැකිවීම භාග්‍යයක්.

දුබලතා සහිත විශේෂ හැකියා ඇති අයට දැනට ගෙවනු ලබන රුපියල් 3000 මාසික දීමනාව ඊයේ (01) දින සිට රුපියල් 5000 දක්වා ඉහළ දැම්මා. ඒ සඳහා ප්‍රතිලාභීන් 72000 ක් සිටිනවා. නිදන්ගත වකුගඩු රෝගීන්ගේ මාසික දීමනාව රුපියල් 5000 ක් රෝගීන් 21000 ක් එය ඊයේ සිට තවත් 5000 කට ඒ සඳහා රුපියල් මිලියන 1840ක මුදලක් වැය වෙන් කර ඇත. ශ්‍රී ලංකා යුද හමුදාවේ කමාන්ඩෝ දීමනාව රුපියල් 1000 සිට 5000 දක්වා ජූලි මාසයේ දී වැඩි වේ. ත්‍රිවිධ හමුදා නිධාරීන්ගේ මාසික සලාක දීමනාව නිලධාරීන්ට රුපියල් 23231, සෙසු නිලයන්ට රුපියල් 19350 ක් යුද,නාවික,ගුවන් නිලධාරීන්ගේ කමාන්ඩෝ දීමනා රුපියල් 5000 ක් සඳහා රුපියල් මිලියන 1175ක් වෙන් කර තිබේ.

ඉතිහාසයේ වැඩිම විශ්‍රාම වැටුප් වැඩිවීම ඊයේ (01) ක්‍රියාත්මකය. මේ අනුව විශ්‍රාමික රාජ්‍ය සේවකයන් 585000 කට අවම රුපියල් 2800 සිට උපරිම රුපියල් 20000 දක්වා වැටුප් වැඩි වනු ඇත. මෙම විශ්‍රාම වැටුප් වැඩි කිරීම සඳහා වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 12000කි.

පුද්ගලික බස් රථ හිමියන් විසින් බස් රථ ලබා ගැනීම සඳහා ගෙන ඇති ලීසිං හා ණය සඳහා අප්‍රේල්, මැයි සහ ජුනි මාසවල වාරික ගෙවීමට සහන කාලයක් ලබා දි ඇත.

එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් ඉදිරි ජනාධිපතිවරණයට යෝජනා කරන්නේ කවුරුන් ද යන්න මාධ්‍යවේදීන් බණ්ඩාරිගොඩ මහතාගෙන් නැගූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් ඒ මහතා කියා සිටියේ එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයට සහ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඉදිරි ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයෙකුගේ නම ඉදිරිපත් කරන බවයි.

එක්සත් ජාතික පක්ෂය කියන්නේ මේ රටේ ජාතික සමගිය ඇති කළ හැකි එකම පක්ෂයයි. අපි කොයි වෙලාවකවත් ජාතිවාදී නාඩි අල්ලන්න ගිහින් නැහැ. පුළුවන් නම් මාත් එක්ක විවාදයකට එන්න. සිංහල බෞද්ධයන්ට සේවය කළ එකම පක්ෂය එක්සත් ජාතික පක්ෂය බව මම ඔප්පු කරනවා

ජනාධිපතිතුමා මරණීය දණ්ඩනය සම්බන්ධයෙන් ගත් තීරණය පිළිබඳ එක්සත් ජාතික පක්ෂය හැටියට එකඟ වෙන්නේ නැහැ. බෞද්ධ දර්ශනයක් ඇති රටක් ලෙස මරණීය දණ්ඩනය අනුමත කරන්න බැහැ. එදා ජේ.ආර්.ජයවර්ධන මහත්තයාත් තීරණය කළේ මරණීය දණ්ඩනය සුදුසු නැහැ කියායි.

සංවර්ධන සහ සන්නිවේදන ඒකකයේ නීතීඥ සුදර්ශන ගුණවර්ධන මහතා ද මෙම අවස්ථාවට සහභාගී විය.



උපුටා ගැනීම දිනමිණ පුවත් පත ඇසුරෙනි

More News »