මත් ජාවාරමට එරෙහි සටන ඇරැඹුවේ දිගු කලක සිටයි

Jun 29, 2019 09.46am
feature-top
නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහි සටන තමා අද ඊයේ ආරම්භ කළ එකක් නොවන බවත් මේ දරුණු සමාජ ව්‍යසනයෙන් ජාතිය ගලවා ගැනීම තමා ආරම්භ කළ දීර්ඝකාලීන වැඩපිළිවෙළක් බවත් ජනාධිපතිවරයා පවසයි.

මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් වැරැදිකරුවන් වී බන්ධනාගාරගතව සිටින පුද්ගලයන් සිවු දෙනකුට මරණීය දණ්ඩනය ලබාදීම සඳහා තමා මේ වන විට අත්සන් තබා ඇති අතර, ඊට විරුද්ධව කථා කරන සියලු පිරිස් මත්ද්‍රව්‍ය ජාවාරමට සහාය වන්නන් බව ද ජනාධිපතිවරයා කියා සිටියේය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව ප්‍රකාශ කළේ පොළොන්නරුව, ලංකාපුර විජිත මහා විද්‍යාලයේ ඊයේ (28) පෙරවරුවේ පැවැති උත්සවයක දී ය.

මෙහි දී අදහස් දැක් වූ ජනාධිපතිවරයා වැඩි දුරටත් කියා සිටියේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණීය දණ්ඩනය ලබාදීමට තමා අත්සන් තැබුවේ කිසිවකු කෙරෙහි වෛරයෙන් හෝ ක්‍රෝධයෙන් නොව මේ දරුණු සමාජ ව්‍යසනයෙන් ජාතිය සහ මතු පරපුර බේරා ගැනීම වෙනුවෙන් බවයි.

එබැවින් එම වැඩපිළිවෙළ ආපසු හැරවීමට කිසිවකු උත්සාහ නොදැරිය යුතු අතර, එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා සමඟ ද තමා මේ පිළිබඳ දුරකථන සංවාදයක නිරත වෙමින් කරුණු පැහැදිලි කළ බව ජනාධිපතිවරයා කියා සිටියේය.

මේ උත්සව සභාව ඇමතූ ජනාධිපතිවරයා වැඩි දුරටත් සඳහන් කළේ නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහි සටන තමා අද ඊයේ ආරම්භ කළ එකක් නොවන බවයි. මේ දරුණු සමාජ ව්‍යසනයෙන් ජාතිය ගලවා ගැනීම තමා ආරම්භ කළ දීර්ඝකාලීන වැඩපිළිවෙළක් බවත් එම ගමනේ දී විවිධ බාධා එල්ල වූ අතරම ජනාධිපතිවරයා ලෙස සියලු දෙනාගේ සහයෝගයන් එම වැඩපිළිවෙළ අද සාර්ථක අවසානයක් කරා මෙහෙයවමින් සිටින බව ද ජනාධිපතිවරයා කියා සිටියේය.

පිබිදෙමු පෙළොන්නරුව දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහන යටතේ ලංකාපුර විජිත මහා විද්‍යාලයේ ඉදිකෙරුණු පන්ති කාමර 15කින් යුත් තෙමහල් ගොඩනැගිල්ල අද පෙරවරුවේ ජනාධිපතිවරයා අතින් සිසු අයිතියට පැවරිණි. මේ සඳහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 30කි.

සමරු ඵලකය නිරාවරණය කර ගොඩනැගිල්ල සිසු අයිතියට පවරා දුන් ජනාධිපතිවරයා එහි නිරීක්ෂණ චාරිකාවක නිරත වෙමින් සිසු ක්‍රියාකාරකම් ද නිරීක්ෂණය කළේය. විද්‍යාලයේ දරුවන්ගේ ඉල්ලීම පරිදි විද්‍යාලයට අවශ්‍ය උපකරණ ලබා ගැනීම වෙනුවෙන් රුපියල් ලක්ෂ 50ක මුදලක් ලබාදීම ද මෙහි දී සිදු කෙරිණි.

උතුරු මැද පළාත් ආණ්ඩුකාර සරත් ඒකනායක මහතා ද විදුහල්පති ආර්. ඩී. වීරසූරිය මහතා සහ ආචාර්ය මණ්ඩලය, මවුපියන්, ආදි සිසුන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.



උපුටා ගැනීම දිනමිණ පුවත් පත ඇසුරෙනි

More News »