2000දී විශ්‍රාම වැටුප් වියදම බි.22යි මේ වන විට බිලියන 234යි

Jun 21, 2019 09.18am
feature-top
වසර 2000දී රාජ්‍ය සේවක විශ්‍රාම වැටුප් වෙනුවෙන් වැයකළ රුපියල් බිලියන 22ක මුදල, මේවනවිට රුපියල් බිලියන 234 දක්වා දස ගුණයකට වඩා වැඩිකර ඇතැයි මහාභාණ්ඩාගාරය සඳහන් කරයි.

මේ අන්දමට වසර 2000 සිට වසර 19ක් ඇතුළත විශ්‍රාම වැටුප් බිල සියයට 10කින් ඉහළ දැමීම නිසා රජයට වියදම් පාර්ශ්වයෙන් දැඩි බලපෑමක් සිදු වුවද සමාජ සුබසාධනය පාර්ශ්වයෙන් සුවිසල් කැපකිරීමක් ලෙස එය හැඳින්විය හැකි බව මුදල් අමාත්‍යාංශයේ නියෝජ්‍ය භාණ්ඩාගාර ලේකම් ඒ. කේ. සෙනෙවිරත්නමහතා ප්‍රකාශ කෙළේය. රාජ්‍ය සේවක විශ්‍රාම වැටුප් විෂමතා දුරු කිරීම සහ විශ්‍රාම වැටුප් දීමනා ඉහළ නැංවීම වසර 2015 දී පටන් වඩාත් වේගවත්ව සිදුකොට තිබේ.

වසර 2015 දෙසැම්බර් 31 දිනට පෙර විශ්‍රාම ලැබූවන්ට අත්විඳීමට සිදුවූ විශ්‍රාම වැටුප් විෂමතාවයන් දුරුකොට වැඩි විශ්‍රාම වැටුප් දීමනාවක් ලබන මාසයේ 01 වැනිදා සිට ලබාදීමටද රජය කටයුතු කරගෙන යනු ලැබේ.

වසර ගණනාවක් පුරා මෙරට විශ්‍රාමික රාජ්‍ය සේවකයින් මුහුණපෑ වැටුප් විෂමතා දුරු කිරීමට මුදල් ඇමැති මංගල සමරවීර මහතා කටයුතු කළේ ඔවුන් මහාභාණ්ඩාගාරයෙන් කළ ඉල්ලීමකට සවන්දීමෙන් අනතුරුවය. වසර 2014 දී රුපියල් බිලියන 127ක් වූ රාජ්‍ය සේවක විශ්‍රාම වැටුප් බිල වසර 2015 / 2016 දී වැඩිවිය. ඒ සඳහා වසර 2017 දී රුපියල් බිලියන 181ක්, 2018ට රුපියල් බිලියන 198ක් හා වසර 2019ට රුපියල් බිලියන 234ක් දැරීමට රජයට සිදු වූ බව ද සෙනෙවිරත්න මහතා කීය.



උපුටා ගැනීම දිනමිණ පුවත් පත ඇසුරෙනි

More News »