ජනපති තජිකිස්තානයේ තෙදින නිල සංචාරයක

Jun 14, 2019 09.09am
feature-top
ආසියාවේ අන්තර් ක්‍රියා හා විශ්වාසය ගොඩනැංවීමේ පියවර පිළිබඳ 5 වන සමුළුව (Conference on Interaction and Confidence Building Measures in Asia- CICA) සඳහා සහභාගීවීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඊයේ (13) පෙරවරුවේ තජිකිස්තානය බලා පිටත්ව ගියේය.

ආසියාවේ අන්තර් ක්‍රියා හා විශ්වාසය ගොඩනැංවීමේ පියවර පිළිබඳ සමුළුව, ආසියාවේ සාමය, ආරක්ෂාව හා ස්ථාවරභාවය ප්‍රවර්ධනය කිරීම පිළිබඳ සහයෝගීතාව වැඩිදියුණු කිරීමේ අරමුණින් 1992 වසරේ දී ස්ථාපිත කළ බහුජාතික සංසදයකි. එය විශ්වාසය ගොඩනැංවීමේ පියවර පිළිබඳ දැඩි අවධානයක් යොමු කරයි.

ශ්‍රී ලංකාව 2012 වසරේ සිට එහි නිරීක්ෂණ රාජ්‍යයක් ලෙස කටයුතු කරයි. එහි සාමාජික රාජ්‍ය 26ක් 2018 අගෝස්තු 15වැනි දින ශ්‍රී ලංකාව සාමාජික රටක් ලෙස පිළිගනු ලැබීය.

ශ්‍රී ලංකාව මෙම සමුළුවේ සාමාජිකත්වය ලබාගැනීම එහි සෙසු සාමාජික රාජ්‍යයන් සහ ශ්‍රී ලංකාව අතර පවත්නා ද්විපාර්ශ්වික, ආර්ථික හා වෙළෙඳ සහයෝගීතාව මෙන්ම අන්තර් පුද්ගල සබඳතා ද තවදුරටත් වැඩිදියුණු කිරීමට ඉවහල් විය.

ආසියාවේ අන්තර් ක්‍රියා හා විශ්වාසය ගොඩනැංවීමේ පියවර පිළිබඳ සමුළුවේ සාමාජික රාජ්‍යයන් අතර ඇෆ්ගනිස්තානය, අසර්බයිජානය, බහරේනය, බංගලාදේශය, කාම්බෝජය, චීනය, ඊජිප්තුව, ඉන්දියාව, ඉරානය, ඉරාකය, ඊශ්‍රාලය, ජෝර්දානය, කසකස්තානය, කිරිගිස්තානය, මොංගෝලියාව, පාකිස්තානය, පලස්තීනය, කටාරය, කොරියාව, රුසියාව, තජිකිස්තානය, තායිලන්තය, තුර්කිය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, හා වියට්නාමය යන රටවල් වේ.

එහි 5වන සමුළුව ජූනි 15 දින තජිකිස්තානයේ දුෂාන්බේ නරගයේ දී පැවැත් වේ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජූනි 15 දා පැවැත්වෙන රාජ්‍ය නායක සමුළුවේ දී සිය විශේෂ දේශනය ඉදිරිපත් කිරීමට නියමිතය. සිය තෙදින නිල සංචාරයේ දී ජනාධිපතිතුමා තජිකිස්තාන ජනාධිපති ඉමෝමාලි රාමොන් මහතා ඇතුළු එරට රජයේ ඉහළ පෙළේ නියෝජිතයන් කිහිප දෙනෙකු සමඟ ද සාකච්ඡා පැවැත්වීමට නියමිතය.



උපුටා ගැනීම දිනමිණ පුවත් පත ඇසුරෙනි

More News »