අගමැති මෝදි හිටියේ පැය 4යි සාකච්ඡාවට අගමැතිට ලැබුණු කාලය විපක්ෂයට ලබා දුන්නා

Jun 11, 2019 09.36am
feature-top
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ලංකාවේ ගත කළ මුළු කාලය පැය 4 කට සීමා වූ හෙයින් ඔහු සමඟ සාකච්ඡා කිරීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට වෙන් කර තිබූ කාලය විපක්ෂයට දීමට පියවර ගත් බව සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ප්‍රකාශ කළේය.

අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ගත් පියවර අනුව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා හා ආර්. සම්බන්ධන් මහතා ප්‍රමුඛ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන්ට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සමඟ සාකච්ඡා කිරීමට කාලය ඉතිරි වූ බවද සභානායක කිරිඇල්ල මහතා කීවේය.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සමඟ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සියලු සාකච්ඡා කළේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ සිට කොළඹදක්වා පැමිණෙද්දී සහ කොළඹසිට කටුනායක ගුවන්තොටුපොළ දක්වා ගමන් කළ කාලයේ දී බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කළේය.

සීමිත කාලයකට මෙරටට පැමිණි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සහභාගී වන විශේෂ අවස්ථා සියල්ලටම එක් වන ලෙස ඉන්දීය අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් සංචාරය ස්ථිර වූ දිනම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ කාර්යාලයට දැනුම් දුන් බවද සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කීවේය.

ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ සංචාරයේ රජයේ නියෝජනය කරමින් පරිවාර ඇමැතිවරයා ලෙස මලික් සමරවික්‍රම මහතා නම් කර තිබූ අතර ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඇමැති සජිත් ප්‍රේමදාස මහතාව නම් කෙරිණි.

උපුටා ගැනීම දිනමිණ පුවත් පත ඇසුරෙනි

More News »