චෝදනා එල්ල වූ හිටපු ඇමැතිවරු ගැන පැමිණිලි ඇත්නම් කමිටුවට කියන්න

Jun 05, 2019 09.16am
feature-top
* කමිටු වාර්තාව මසක් ඇතුළත
* පාර්ලිමේන්තුවට වැරදිකරුවනට නඩු දමනවා

යම් යම් චෝදනා එල්ල වූ හිටපු අැමැතිවරුන් පිළිබඳ පරීක්‍ෂණ පැවැත්වීම සඳහා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ත්‍රිපුද්ගල කමිටුවක් පත් කැර ඇති බවත්, ඕනෑම කෙනකුට තම චෝදනා ඊට ඉදිරිපත් කළ හැකි බවත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කෙළේය.

කමිටු වාර්තාව මසක් ඇතුළත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලීමටත්, වැරදිකරුවනට නඩු පැවරීමටත් ක්‍රියා කරන බවත් අගමැති වික්‍රමසිංහ මහතා පැවසිය.

නිදහසින් පසු ප්‍රථම වතාවට මුස්ලිම් අැමැතිවරයකු නොමැති ආණ්ඩුවක් දැන් ක්‍රියාත්මක වෙමින් පවතින බවත් ස්වල්ප දෙනෙක් මේ පිළිබඳව සතුටට පත් වුණත් එය රටට හිතකර තත්ත්වයක් නොවන බව ද මෙහිදී වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේය.

බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී ඊයේ (4 ) පැවැති ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ පශ්චාත් උපාධි ප්‍රදානෝත්සවයට සහභාගි වෙමින් අගමැති වික්‍රමසිංහ මහතා මේ බව පැවසිය.

එහිදී අගමැතිවරයා මෙසේද පැවසීය.

ජාතිවාදය ඇවිස්සීම තුළින් සිදු වන්නේ ත්‍රස්තවාදීන්ගේ ප්‍රමාණය වැඩි වීමයි. හිටපු අැමැතිවරුන්ට චෝදනා තිබුණා. ඒ පිළිබඳව සම්පූර්ණ පරීක්‍ෂණයක් සිදු කරන ලෙස අපි අපරාධ පරික්‍ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දී තිබෙනවා. ඒ අනුව එම පරීක්‍ෂණ කටයුතු මෙහෙය වීම සඳහා නිලධාරීන් තිදෙනකු පත් කර තිබෙනවා. ඔවුන් චෝදනා ඉදිරිපත් කරන සියලූ දෙනා මුණගැසී කට උත්තර සටහන් කර ගන්නවා. එම කට උත්තරවලට අනුව චෝදනා විභාග කර මාසයක් ඇතුළත එම වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතුයි. ඒ අනුව එවැනි සාක්‍ෂි හා තොරතුරු තිබෙනවා නම් ඕනෑම අයකුට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට ලබාදිය හැකියි. ඒ අනුව මාසයක් ගත වීමට පෙර එම වාර්තාව අවසන් කිරීමට කටයුතු කරනවා. එම වාර්තාවට අනුව යම් පුද්ගලයකුට නඩු පැවරීමට තරම් චෝදනා තිබෙනවා නම් නඩු පැවරීමට කටයුතු කරනවා. එසේ නොමැති නම් ඔවුන් නිදහස් කරනවා.

මුස්ලිම් ජනතාව ගත වූ 30 වසරක යුද්ධයේ දී අපත් සමඟ එකට සිටි ජනතාවයි. ඔවුන් අතුරින් ස්වල්ප දෙනෙක් නොමග ගිය පමණින් අනෙකුත් සියලූ දෙනා ද ඒ මගට යොමු කරනවා නම් අයි.එස්.අයි.එස්. ත්‍රස්තවාදය මර්ධනය කිරීමට කැප වෙන අයගේ වැඩ කටයුතු මීට වඩා දුෂ්කර වෙනවා.

මේ දිනවල ජාතිවාදය මුල් කර ගනිමින් පෙළ පාලි යනවා. ව්‍යාපාරික ස්ථාන බලෙන් වසා දමනවා. මෙම ජාතිවාදී ක්‍රියා නිසා ව්‍යාපාර කර ගෙන යාමටත්, එම ව්‍යාපාර වෙනුවෙන් ලබාගත් ණය මුදල් ගෙවා ගැනීමටත් නොහැකි තත්ත්වයක් ඇතිව තිබෙන බව ව්‍යාපාරිකයන් මා සමඟ පැවසුවා. එය බරපතළ ගැටලූවක්. රටේ මාධ්‍යය ද ඒ සඳහා උදව් කරනවා. මේ පිළිබඳව අප කල්පනා කළ යුතුයි.

මේ රටේ නැවතත් ජාතිවාදයක් ඇති වීමට ඉඩ දිය නොහැකියි. ජාතිවාදය ඇති වීම යනු අයි.එස්.අයි.එස්. සංවිධානයට සහයෝගය දැක්වීමක් බව කිව යුතුයි. එම නිසා අප ඊට ඉඩ නොදිය යුතුයි. නොසිතූ ලෙස මුහුණ දුන් ත්‍රස්තවාදය සම්පූර්ණයෙන්ම අවසන් කිරීමට අප කටයුතු කරමින් සිටිනවා. ඊට අවශ්‍ය සහයෝගය ලබා දෙන්නැයි මම සියලූ දෙනාගෙන් ඉල්ලා සිටිනවා.



උපුටා ගැනීම දිනමිණ පුවත් පත ඇසුරෙනි

More News »