තලාව කෝටි දහයේ බැංකු කොල්ලයේ සුල මුල හෙළිවෙයි

Jun 01, 2019 09.05am
feature-top
කැබ් රියක්-මෝටර් රථයක් ලක්ෂ 17ක රන් සොයා ගනී

වසරක පමණ කාලයක් අභිරහසක්ව පැවැති තලාව රුපියල් දසකෝටියක මුදල් සහ රන් අභරණ බැංකු කොල්ලයේ සුල මුල හෙළි කරගෙන ඇති තලාව පොලිසියේ විශේෂ විමර්ශන කණ්ඩායම විසින් එම මහා බැංකු කොල්ලයට සම්බන්ධ සැකකරුවන් තිදෙනකු ද අත්අඩංගුවට ගෙන රුපියල් කෝටියක පමණ වටිනාකමකින් යුත් කැබ් රථයක්, මෝටර් රථයක් සහ රුපියල් ලක්ෂ 17ක් පමණ වටිනා රන් භාණ්ඩ ද සොයා ගෙන තිබේ.

ඉතාමත් සූක්ෂම උපක්‍රම යොදා මනා සැළසුමකින් යුතුව බැංකුව සහ තලාව පොලිසිය සම්බන්ධ කර සවි කර තිබූ විදුලි එලාම් සීනුවද කපා දමා බැංකුවේ සේප්පු තුනක තැන්පත් කර තිබූ රුපියල් දස කෝටි විසිපන්ලක්ෂයක් පමණ වටිනා මුදල් සහ රන් අභරණ 2018. 06. 29 දින රාත්‍රියේ සොරකම් කර තිබුණි.

සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට තරම් වූ කිසිදු සලකුණක් නොමැතිව සිදු කර තිබූ මේ බැංකු කොල්ලයට සම්බන්ධ වූවන් අත්අඩංගුවට ගැනීම පිණිස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කණ්ඩායමක් ද ඊට අමතරව තලාව පොලිසිය ප්‍රධාන කොටගත් විශේෂ විමර්ශන කණ්ඩායමක් ද පත් කර තිබුණි.

පොලිසිය දිගින් දිගටම වසරකට ආසන්න කාලයක් මේ සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කරනු ලැබ තිබුණ ද කිසිදු හෝඩුවාවක් සොයා ගැනීමට නොහැකි වී තිබුණි.

මේ කොල්ලකරුවන් විසින් මේ සොරකම සිදු කර තිබුණේ තලාව මේ රාජ්‍ය බැංකුව පිහිටි ස්ථානයට පිටුපස ප්‍රදේශයේ තිබූ කැලෑ පෙදෙසින් පැමිණ බැංකුවේ පිටුපස දොර ආසන්නයේ සවි කර තිබූ සීනුව විසන්ධි කර එම දොර කඩා බැංකුව තුළට අතුළුවී තිබිමයි. මේ බැංකුවේ සීනුව දොර ආසන්නයේ තිබීමත් එම සීනුව නාදවීම සිදු වන්නේ සේප්පු ආසන්නයට යමකු ගිය විට පමණක් බැවින් ඒ බව හොඳින් හඳුනා ගෙන තිබූ කොල්ලකරුවන් ප්‍රථමයෙන්ම බැංකුවත් පොලිසියත් අතර සම්බන්ධ වෙන සීනුව විසන්ධි කර ඉතාමත් පහසුවෙන් මේ කොල්ලය සිදු කර ඇති බව පොලිසිය විසින් හඳුනාගෙන තිබුණි.

මේ අතර පසුගිය ජනවාරි 20 වැනි දින එප්පාපවල ප්‍රදේශයේ දී ගංජා කිලෝ එකක් සහ ග්‍රැම් 300ක් සමඟ සැකරුවන් සය දෙනකු වෑන් රථයකින් ප්‍රවාහනය කරමින් සිටිය දී එප්පාවල කිරලෝගම ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබුණි. මොවුන් තඹුත්තේගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කර තිබුණි.

මේ අතර මීට පෙර තලාව බැංකු කොල්ලය සම්බන්ධයෙන් පොලිසිය විසින් සැක කරනු ලබන දුරකතන අංක රැසක් විශ්ලේෂණයට යොදා ගෙන තිබුණි. එම විශ්ලේෂණයට අනුව මේ අත්අඩංගුවේ සිටි සැකකරුවන් අතරින් තිදෙනකුගේ දුරකතන අංක මේ බැංකු කොල්ලයට සම්බන්ධ බව පොලිසියට අනාවරණය කර ගැනීමට හැකි විය. සැකකරුවන් තිදෙනාගේ දුරකතන අංකවල එම කොල්ලයට සම්බන්ධ තවත් පුද්ගලයන් සමඟ කතා බහ කර ඇති අතර, එම සැකකරුවන් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව මේ දුරකතන විශ්ලේෂණයේ දී එම කොල්ලයේ සුළ මුල හෙළි කර ගැනීමට හැකිවී ඇත.

මෙහි දී මෙසේ අත්අඩංගුවට පත්වී සිටින්නේ අපන්ත පුෂ්ප කුමාර බියගම නැමැති වයස අවුරුදු 40ක් පමණ වූ කංචිකුලම, ඉපලෝගම පදිංචි අයකු වෙයි. දෙවැනි සැකකරු වන්නේ කලුබණ්ඩා දිසානායකගේ සඳුන් මධුෂංක නොහොත් සුද්දා වයස අවුරුදු 27ක් වන මොහු යුද හමුදාවෙන් පලා ගිය අයෙකි. ශාන්තගම, ඉපලෝගම පදිංචිකරුවෙකි.

තුන්වැනි සැකකරු වන්නේ හෙට්ටි හේවාගේ අනුර කුමාර බස්නායකය. වයස අවුරුදු 36ක් වන මොහු ගුවන් හමුදාවෙන් නිත්‍යානුකුලව ඉවත් වූ අයකු වෙයි. මොහුගේ පදිංචිය තලාව හිරිගොල්ලේගම බව ද පැවැසේ.

මෙහි දී අත්අඩංගුවට පත් සැකකරුවන් අතරින් අජන්ත නැමැති සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔහු පැළඳ සිටි ලක්ෂ 17ක් පමණ වටිනා පවුම් 35කින් පමණ තනන ලද රන් ආභරණද පොලිස් භාරයට ගෙන ඇත. මේවා සොරකම් කරන ලද රන් ආභරණවලින් තනන ලද ඒවා බව ද සැක කෙරේ. මේ අතර බැංකුවේ ගනුදෙනුකරුවන් දහසකගේ පමණ වූ මුදල් සහ රන් ආභරණවල වටිනාකමත් බැංකුව මගින් මීට මාස කිහිපයකට පෙර ගෙවා අවසන් කර තිබුණි.

උතුරු මැද පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ජගත් අබේසිරි ගුණවර්ධන මහතාගේ අධීක්ෂණය යටතේ එප්පාවල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රෝහණ අධිකාරි හා බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසයේ සහකාර පොලිස් අධිකාරි බ්‍රාහ්මණගේ හා එම ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නිහාල් පෙරේරා මහතා ඇතුළු එප්පාවල පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මේ පිළිබඳව ඉදිරි විමර්ශන පවත්වාගෙන යනු ලබන අතර, මේ කොල්ලයේ ඉතිරි මුදල් සහ රන් අාභරණ සොයා ගැනීම සඳහා පුළුල් පරීක්ෂණ සිදු කරනු ලබයි.



උපුටා ගැනීම දිනමිණ පුවත් පත ඇසුරෙනි

More News »