අවිධිමත් සංචාරක ක්ෂේත්‍රය නංවන්න රජයෙන් බිලියන 1.5 ක්

May 31, 2019 09.40am
feature-top
පාස්කු ත්‍රස්ත ප්‍රහා‍රයෙන් බිඳවැටුණු අවිධිමත් සංචාරක ක්ෂේත්‍රය නඟාසිටුවීම සඳහා රජය ඊයේ රුපියල් බිලියන 1.5 ක ‘සංචාරක පොඩ්ඩෝ’ වි‍ෙශ්ෂ සහන පැකේජයක් හඳුන්වා දුන් බව මුදල් ඇමැති මංගල සමරවීර මහතා ප්‍රකාශ කරයි.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (30) එම අමාත්‍යාංශයේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින්ය. එහිදී වැඩිදුරටත් කතා කළ ඇමැතිවරයා මෙසේද කීය.

ඉකුත් පාස්කු ඉරිදා සිදුවූ ත්‍රස්ත ප්‍රහාරයෙන් බිඳවැටුණු අවිධිමත් සංචාරක ව්‍යාපාරය නඟාසිටුවීම සඳහා මේ සහන පැකේජය හඳුන්වා දුන්නා. ඊට සම්බන්ධ අනෙක් ක්ෂේත්‍ර වන ප්‍රවාහන, විනෝදාස්වාදය සැපයෙන අංශවලටද මේ යටතේ සහන සැලසෙනවා.

මෙම පැකේජය හඳුන්වා දෙන්නෙ ණය යෝජනා ක්‍රමයක් ලෙසයි. එය ‘සංචාරක පොඩ්ඩෝ’ ලෙස හඳුන්වා තිබෙනවා.

මෙහිදී රුපියල් ලක්ෂ පහක ණයක් ලබාදෙනවා පොලී රහිතව. මෙය වසර තුනකින් ගෙවිය යුතු අතර ඒ සඳහා මාස දොළහක සහන කාලයක් ලබාදෙනවා. මෙය ලබාදෙන්නේ ප්‍රාදේශීය සංවර්ධන බැංකුවෙන් පමණයි.

ඇල්ල, මිරිස්ස වැනි ප්‍රදේශවල අවිධිමත් සංචාරක ක්ෂේත්‍රයේ නියැළී සිටින විශාල පිරිසක් ඉන්නවා. පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් පසු ඔවුන්ගේ ව්‍යාපාර බිඳවැටී තියෙනවා.

ජනතා සුබසිද්ධිය ගැන කල්පනා කරන රජයක් ලෙස මේ “සංචාරක පොඩ්ඩෝ” ණය යෝජනා ක්‍රමය හඳුන්වා දුන්නා. ඒ මඟින් ගිනි පොලියට ණය දෙන්නන්ගෙන් එම අවිධිමත් ව්‍යාපාරිකයින් බේරාගන්න හැකිවනවා.

මෙහිදී සංචාරක ක්ෂේත්‍රයේ නියැළී සිටින සංගීත කණ්ඩායම් සඳහා මෙම ණය ලබාදීමට සජිත් ප්‍රේමදාස ඇමැතිගේ යෝජනාවක් අනුව සිදුවෙනවා. ඒ අනුව සංගීත කණ්ඩායම් සාමාජිකයින් සඳහා උපරිම රුපියල් ලක්ෂ පහක ණයක් ලබා දෙනවා. ඒ වෙනුවෙන් පොලී අනුපාතය 3.5% ක් අය කෙරෙනවා. මෙම ණය මුදල් ලබන ජූනි 10 සිට ලංකා බැංකු ශාඛා මඟින් ලබාගැනීමට හැකි වෙනවා. මෙම ණය මුදල් පොලියෙන් 75% ක් රජය දරනවා.

ඒ වගේම වෙසක් තොරණ සෑදීමේ කර්මාන්තයේ නියැළී සිටින අයට ද මේ ණය ලබාගත හැකියි. පෞද්ගලික බස්රථ හිමියන්ටද කල්බදු වාරික ගෙවීම සඳහා විශේෂ සහන කාලයක් හඳුන්වා දී තිබෙනවා.

ත්‍රස්තවාදී ක්‍රියා හමුවේ ආර්ථික පසුබා තිබෙන අවස්ථාවකත් ජනතාවට මෙවැනි සහන ලබාදීමට හැකි වී තිබෙන්නේ රජයේ නිසි ආර්ථික කළමනාකරණය නිසයි.

උපුටා ගැනීම දිනමිණ පුවත් පත ඇසුරෙනි

More News »