ජලසම්පාදනයේ හිටපු ගණකාධිකාරී වසර 37ක් හිරේ

Apr 03, 2019 08.47am
feature-top
ලක්ෂ 40ක දඩයක්
ලක්ෂ 130 වන්දියක් ගෙවීමටත් නියෝග

කැලණිය ප්‍රාදේශීය කාර්යාලයේ කළමනාකරුගේ අත්සන ව්‍යාජව යොදා චෙක්පත් 57ක් මඟින් රුපියල් ලක්ෂ 120කට අධික මුදලක් වංචා කිරීම ඇතුළු චෝදනා අටකට වරදකරු වූ ජලසම්පාදන මණ්ඩලයේ කැලණිය ප්‍රාදේශීය කාර්යාලයේ හිටපු ගණකාධිකාරීවරයකුට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා බරපතළ වැඩ සහිත වසර 37ක සිරදඬුවමක් ඊයේ (2) නියම කෙළේය.

ජලසම්පාදන මණ්ඩලයේ කැලණිය ප්‍රාදේශීය කාර්යාලයේ හිටපු ගණකාධිකාරීවරයකු වූ ආනන්ද මාබෝල නැමැත්තාට එසේ සිරදඬුවම් නියම වුණි.

විත්තිකරුහට සිරදඬුවමට අමතරව රුපියල් ලක්ෂ 40ක දඩයක්ද නියම කළ විනිසුරුවරයා රුපියල් ලක්ෂ 130ක වන්දියක් ජලසම්පාදන මණ්ඩලයට ගෙවීමට ද නියම කෙළේය.

විත්තිකරු එම දඩ හා වන්දි මුදල් නොගෙවන්නේ නම් වසර 23ක බරපතළ වැඩසහිත අමතර සිරදඬුවමක්ද විත්තිකරු හට නියම කළ විනිසුරුවරයා දඩ හා වන්දි මුදල් ගෙවීම සඳහා නඩුව ලබන මැයි 31 යළි කැඳවීමටද නියෝග කෙළේය.

2005 වසරේ මාස 12ක් වැනි කෙටි කාලයක් තුළදී ඉතා සූක්ෂ්ම අයුරින් ව්‍යාජ බැංකු ලේඛන ඉදිරිපත් කැර මෙම වංචාව සිදු කර ඇති බවත් නඩුවේ සාක්කි විභාගය ආරම්භ කිරීමෙන් පසුව පදිංචි ස්ථානය හැරගොස් විත්තිකරු සැඟව සිට ඇති බව පෙන්වා දුන් විනිසුරුවරයා එම නියෝගය නිකුත් කෙළේය.

අධිකරණය මඟහැර සිටියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් මෙම විත්තිකරු රිමාන්ඩ් භාරයටපත් කර නඩු විභාගය පැවැත්වීමට අධිකරණය තීරණය කැර තිබුණි. විත්තිකරු තමන් භාරයේ තිබූ එකී චෙක්පත් සිය අත් අකුරින්ම ලියා බැංකුවට ගොස් මුදල් කැරගෙන තිබූ අතර චෙක්පත් කිහිපයක් වෙනත් කාන්තාවකගේ ගිණුමකට බැරකර මුදල් බැරකරගෙන ඇති බව සාක්කි විභාගයේදී අනාවරණය වී ඇති බව සිය තීන්දුව මඟින් විනිසුරුවරයා පෙන්වා දුන්නේය. රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ ශ්‍යාමලී අබේරත්න මහත්මිය නීතිපතිවරයා වෙනුවෙන් පැමිණිල්ල මෙහෙයවීය.



උපුටා ගැනීම දිනමිණ පුවත් පත ඇසුරෙනි

More News »