2020 දී මෙරටින් මත් උවදුර තුරන් කරනවා

Apr 02, 2019 12.44pm
feature-top
වසර 2020 වනවිට මෙරටින් සම්පූර්ණයෙන්ම මත්ද්‍රව්‍ය උවදුර තුරන් කිරීමට කටයුතු කරන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසීය.

එම කටයුතු සාර්ථක කිරීම පිණිස, මත්ද්‍රව්‍ය ජාවාරම් කොටු කර ගැනීමට ලෝකයේ ඉහළම රටවල භාවිතයට ගන්නා නවීන තාක්ෂණික උපකරණ ගෙන්වීමට තීරණය කර ටෙන්ඩර් ද කැඳවා ඇතිබවද හෙතෙම කීවේය.

ජනාධිපතිවරයා මේ බව ඊයේ කැලණිය ගෝනවල ඩී එන් එස් ගබඩා සංකීර්ණයේ දී කොකේන් තොග විනාශ කිරීමේ අවස්ථාවට සහභාගී වෙමින් හෙළි කළේය.

යුරෝපා රටවල් මත්ද්‍රව්‍ය උවදුර නැති කර ඇත්තේ දියුණු තාක්ෂණික ක්‍රම භාවිත කරමින්. මේ රටේ එවැනි දියුණු තාක්ෂණික උපකරණ නොමැති වූවත් අපේ ආරක්ෂක අංශ ඉතාමත් කැපවීමෙන් යුතුව  මත්ද්‍රව්‍ය වැටලීම් සිදු කර, විශාල ප්‍රගතියක් ලබා තිබෙනවා.

දියුණු රටවල් භාවිතා කරන තාක්ෂණික උපකරණ අපට ලැබුණහොත් මේ රටේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් මෙරටට ගෙන එන මත්ද්‍රව්‍ය තොග කොටු කර ගැනීමේ සිට ජාවාරමේ සෙසු කටයුතු සියල්ලක්ම කොටු කර ගැනීමට හැකි වෙන බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

මේ රටේ බරපතළම උවදුරක් බවට පත් වී තිබුනේ මත්ද්‍රව්‍ය උවදුරයි. මෙම උවදුරින් රටේ තරුණ පෙළ බේරා ගෙන 2020 වන විට මත්ද්‍රව්‍ය උවදුර සම්පුර්ණයෙන්ම නැති කර දැමීමට කළ හැකි සැම දෙයක්ම කරන බවද ජනාධිපතිවරයා පවසා සිටියේය.

මත්ද්‍රව්‍ය වැරැදි කරන්නන්ට මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම ස්ථිර බවත්, මේ වනවිට එම වැරදිකරුවන්ගේ නම් ලැයිස්තු සකස් කර එම දඬුවම් ක්‍රියාත්මක කිරීමට දින වක වානු පවා තීරණය කර ඇති බව ජනාධිපතිවරයා මාධ්‍ය වෙත ප්‍රකාශයක් කරමින් කියා සිටියේය.

ඒ අතර මත්ද්‍රව්‍ය පාවිච්චියට ගොදුරු වි ඇති ජනතාව ඉන් මුදා ගෙන ඔවුන් පුනරුත්තාපනය කිරීම ද ජනාධිපතිවරයාගේ මතින් තොර රටක් වැඩපිළිවෙළේ ප්‍රධාන කොටසක් ද වෙයි. ඒ අනුව මත්ද්‍රව්‍ය උවදුරට ගොදුරු වී සිටින පිරිස් පුනරුත්තාපනය කිරීමේ මධ්‍යස්ථාන ද විශාල ප්‍රමාණයක් ස්ථාපිත කිරීම ද මේ වන විටත් සිදුවෙමින් පවතියි. මේ රටේ අස්සක් මුල්ලක් නෑර සියලු ආරක්ෂක අංශ යොදවා මත්ද්‍රව්‍ය කොටු කර ගනිමින් ජාවාරම්කරුවන් අතර සිටින මෙරටට මත්ද්‍රව්‍ය ගෙන එන බෙදා හරින සහ පාවිච්චි කරන පිරිස සම්බන්ධයෙන් ඉහත සියලු වැඩපිළිවෙළ ක්‍රියාත්මක කෙරේ.

ලෝකයේ මොන තරම් ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සිටියද 2020න් පසු මෙරටට එකම කුඩු කන්හැන්දක් හෝ ගෙන ඒමට ඉඩක් නොලැබෙන පරිදිවැට බැඳීම ජනාධිපතිවරායාගේ එම වැඩ පිළිවෙළේ අරමුණ වෙයි. විවිධ පැතිවලින් ලෝකයේ ප්‍රසිද්ධියට පත් වී කිර්තියක් අත් කරගෙන සිටින අපේ රට මේ ආකාරයෙන් මත්ද්‍රව්‍ය වලින් තොර රටක් බවට පත් කිරීමේ ඉතාමත් සූක්ෂම මෙහෙයුම්වලින් සමන්විත ජනාධිපතිවරයාගේ එම වැඩපිළිවෙළ ඉතාමත් සාර්ථක කිරීමට තවත් පහසුවක් බවට පත්වී ඇත්තේ ජනාධිපතිවරයා යටතේ පොලීසිය පැවතීමය. විශේෂ කාර්ය බළකාය මත්ද්‍රව්‍ය නාශක අංශය බුද්ධි අංශ පොලීසිය විශේෂ මෙහෙයුම් අංශ සහ ත්‍රිවිධ හමුදාවේ ද සහයෝගය මත මෙම සූක්ෂම මෙහෙයුම් සිදුවන අතරම ජාවාරම්කරුවන්ට දඬුවම් ලෙස මරණ දඬුවම් නියම වීම ද තවත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අඩපණ කිරීමට හේතු වන ප්‍රබල කරුණක්වනු ඇත.

මේ ආකාරයෙන් මත්ද්‍රව්‍ය ජාවාරම සෑම අංශයකින්ම අඩපණ කිරීමේ කටයුතු සිදු වනවිට එම ජාවාරම නැත්තටම නැතිත වන බව පොලීසිය පවසයි.

මෙම සියලු කටයුතුවල නියැලි ආරක්ෂක අංශවලට ජනාධිපතිවරයා සිය ස්තුතිය පළ කරමින්, එම සේවය දැඩි ඇගයීමට පත් කළේය.



උපුටා ගැනීම දිනමිණ පුවත් පත ඇසුරෙනි

More News »