ලොව ජයගත හැකි උගත් තරුණ පරපුරක් මෙරට බිහිවිය යුතුයි

Mar 27, 2019 09.08am
feature-top
රටේ සංස්කෘතියට ගරුකරන සහ ලෝකය ජයගත හැකි උගත් තරුණ පරපුරක් රට තුළ බිහිවිය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කරයි.

අපගේ සංස්කෘතික හර පද්ධතින්, සිරිත් විරිත් හා සම්ප්‍රදායන් කිසිවිටෙක කිසිදු බලවේගයකට යටත් නොකළ යුතු බව පවසන ඒ මහතා අපගේ සංස්කෘතියට හා සම්ප්‍රදායට ගරු කරන සහ ලෝකය ජයගත හැකි උගත් තරුණ පරපුරක් රටතුළ බිහිවිය යුතු බව ද ප්‍රකාශ කරයි.

ඒ මහතා මේ බව සඳහන් ක‍ළේ හේනේගම මධ්‍ය විද්‍යාලයේ 75 වන සංවත්සර උලෙළ සහ ත්‍යාග ප්‍රදානෝත්සවය වෙනුවෙන් ඊයේ(26) පැවැති උත්සවයට ඊයේ(26) පස්වරුවේ එක්වෙමිනි.

විද්‍යාලය වෙත ගිය ජනාධිපතිවරයා එම විද්‍යාලයේ සිසු දරුවන් විසින් මහත් හරසරින් පිළිගනු ලැබූහ.

සිසු දරුවන් ඇමතූ ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ අප අධ්‍යාපනය ලැබිය යුත්තේ රැකියාවක් ඉලක්ක කර ගනිමින් පමණක් නොව ලෝකය සහ සමාජය වෙනස් කිරීම වෙනුවෙන් බවයි. මෘත භූමියේ කීර්තිය දසත පැතිරිය හැකි උගත් දරු පරපුරක් රටතුළ ගොඩනැඟිය යුතු බව ද ඒ මහතා සඳහන් කළේය.

1944 වසරේ දී ආරම්භ කළ හේනේගම මධ්‍ය විද්‍යාලය, මධ්‍ය විද්‍යාල සංකල්පය යටතේ මෙරට බිහිවූ 11 වන මධ්‍ය විද්‍යාලය වන අතර මේ වනවිට සිසුන් 3200කට ආසන්න පිරිසක් විද්‍යාලයේ ඉගෙනුම ලබති. විද්‍යා, කලා, වාණිජ සහ තාක්ෂණ විෂය ධාරාව යටතේ අධ්‍යාපන කටයුතු සිදුකෙරේ.

හේනේගම මධ්‍ය විද්‍යාලය ජාතික පාසලක් බවට පත්කරන ලෙස කරන ලද ඉල්ලීම පිළිබඳ ද මෙහි දී අවධානය යොමු කළ ජනාධිපතිවරයා කියා සිටියේ ඒ පිළිබඳ අවශ්‍ය ඉදිරි පියවර ගන්නා බවයි. විද්‍යාලයේ විශිෂ්ටතා දැක්වූ සිසුන්ට තිළිණ සහ සහතිකපත් ප්‍රදානය කිරීම ජනාධිපතිවරයා අතින් සිදුවිය.

විදුහල්පති විජය සත්‍යජිත් කුලරත්න මහතා විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ද විශේෂ සිහිවටන තිළිණයක් පිළිගැන්වීය.

පාර්ලිමේන්තු මන්ත්‍රී ලසන්ත අලගියවන්න, උපාලි ගුණරත්න, චන්දන ජයකොඩි යන මහත්වරුන් ඇතුළු පළාතේ මහජන නියෝජිතයන් ද විදුහල්පති, ආචාර්ය මණ්ඩලය, දෙමාපියන්, ආදි සිසුන් ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.



උපුටා ගැනීම දිනමිණ පුවත් පත ඇසුරෙනි

More News »