දරු තිදෙනා තනි කර මව-පියා මිත්තනිය මාරක අනතුරට බිලි

Mar 16, 2019 09.02am
feature-top
එකම පවුලේ මවත් පියාත් ආච්චිඅම්මාත් දරු තිදෙනකුත් විවාහ මංගල උත්සවයකට සහභාගි වීම සඳහා ත්‍රිරෝද රථයකින් ගමන් කරමින් සිටිය දී ත්‍රිරෝද රථය පොල්ගහවෙල මැදලන්ද ප්‍රදේශයේ දී නාවික හමුදාවට අයත් වෑන් රථයක ගැටීමෙන් ඉතාමත් අවාසනාවන්ත ලෙස එම දරු තිදෙනා මෙලොව තනි කරමින් මවත් පියාත් ආචිචිඅම්මාත් එම ස්ථානයේදීම මරණයට පත් වී තිබේ.

ත්‍රිරෝද රථයේ සිටි මේ පිරිස මාවනැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති. ඊයේ අලව්ව ප්‍රදේශයේ පැවැති එම පිරිසගේ ඥාති නිවෙසක විවාහ මංගල උත්සවයකට සහභාගිවීමට යමින් සිටිය දී මේ අනතුර සිදු වී ඇත්තේ ඊයේ පෙරවරු දහයයි තිහට පමණ බව පොල්ගහවෙල පොලිසිය පවසයි.

වයස අවුරුදු දහසයක සහ අවුරුදු අටක පුතුන් දෙදෙනකු සහ අවුරුදු හතරක දියණියක වූ මේ දරු තිදෙනාටද එම අනතුරින් අත් පා බිඳී බරපතළ ලෙස තුවාල සිදු වී ඇති බව පොලිසිය පවසයි.

ත්‍රිකුණාමලයේ සිට කොළඹ බලා ධාවනය වෙමින් පැවැති නාවික හමුදාවට අයත් වෑන් රථයක් සහ මේ ත්‍රිරෝද රථය එකිනෙක ගැටීමෙන් මේ දරුණු අනතුර සිදු වී ඇත. නාවික හමුදා රථයේ රියැදුරු පොල්ගහවෙල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

රථ වාහන පොලිසිය නිරතුරුවම මහජනතාවට දැනුම් දෙන්නේ ත්‍රිරෝද රථයක තිදෙනකුට වඩා වැඩි පිරිසක් දමා ධාවනය නොකරන ලෙසයි. මේ අනතුරු සිදුවීම සම්බන්ධයෙන් නිරතුරුවම මහජනතාව දැනුවත් කරන රථ වාහන පොලිසිය බාර නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පෙන්වා දෙන්නේ ත්‍රිරෝද රථ නිරතුරුවම අනතුරුවලට ලක්වන වාහනයක්. ඊට හේතුව වන්නේ ත්‍රිරෝද රථ ඉතාමත් බර අඩු වාහනයක් එම වාහනයට ගෙන යා හැකි පුද්ගල සංඛ්‍යාව වන්නේ තිදෙනකු පමණයි. එම රථයට දැරිය හැකි බර ප්‍රමාණය ද එයයි. ඉන් එහාට වැඩි පිරිසක් යෙදවීම තුළින් මේ බර ප්‍රමාණය දරා ගත නොහැකි වූවිට එම රථය අනතුරකට ලක්වීමේ ප්‍රවනතාව වැඩියි.

එම රථයට දරා ගත නොහැකි බරක් යෙදවූ විට එම බර එම රථයට දරා ගත නොහැකිවූ විට එම රථය රියැදුරුට පාලනය කර ගැනීමට නොහැකි වන තත්ත්වයක් ඇති වෙනවා. පසුගිය වසර තුළ සිදුවී ඇති අනතුරු සංඛ්‍යාව බැලුවහොත් වැඩිම අනතුරු සංඛ්‍යාවක් සිදු වී ඇත්තේ ත්‍රිරෝද රථ සහ යතුරු පැදියි මේ නිසාම තුන් දෙනකුට වැඩි පිරිසක් යොදා ගෙන යන ත්‍රිරෝද රථවලට දඩ නියම කරනවා. එම අවවාද නොසළකා හරින රියැදුරන් තමන්ගේ පහසුව ලාබය තකා මේ ආකාරයෙන් වැඩි පුද්ගල පිරිසක් යොදාගෙන ධාවනය කිරීම තුළින් අහිංසක ජීවිත බරපතළ අනතුරුවලට ලක්වන බවත් අහිංසක දරුවන් අනාථ වන බවත් අජිත් රෝහණ මහතා පෙන්වා දෙයි.

මේ අනතුර සම්බන්ධයෙන් පොල්ගහවෙල පොලිසිය පරීක්ෂණ පවත්වන අතර, මිය ගිය පුද්ගලයන් තිදෙනාගේ මෘත දේහ ඊයේ පස්වරුවේ පොල්ගහවෙල රෝහලේ තැන්පත් කර තිබුණි. මරණ පරීක්ෂණ පැවැත්වීමට ද කටයුතු යොදා තිබුණි.



උපුටා ගැනීම දිනමිණ පුවත් පත ඇසුරෙනි

More News »