ලෝකල් මධුෂ්ගේ නිවසේ කෝටි 300ක කුඩු

Mar 12, 2019 10.17am
feature-top
රුපියල් කෝටි පන්සියයක දියමන්තිය සොරකමේ ප්‍රධාන සැකකරුවූ ලෝකල් මදුෂ් හෙවත් කැවුමා හෙවත් කැළුම් ඉන්දික නමැති ජාවාරම්කරුගේ නිවසේ තිබී රුපියල් කෝටි තුන්සියයකට වඩා වැඩි වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ එකසිය හැත්තෑවකට වැඩි ප්‍රමාණයක්, පිස්තෝලයක් සහ ටී 56 උණ්ඩ තුන්දහසකට වැඩි ප්‍රමාණයක් සමඟ සැකකරුවන් දෙදෙනකු විශේෂ කාර්ය බළකාය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

ලෝකල් මදුෂ් විසින් එම නිවස පාතාල ජාවාරම්කරුවන්ගේ මත්ද්‍රව්‍ය සහ අවි ආයුධ ගබඩාවක් ලෙස ද පවත්වාගෙන ගොස් ඇතැයි වැටලීම සිදු කරන විශේෂ කාර්ය බළකාය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි නීතිඥ රුවන් ගුණසේකර මහතා පවසා සිටියේ මොරටුව රාවතාවත්ත සොයිසා පාරේ මෙම නිවස පිහිටා ඇති අතර පසුගිය සතියේදී ඉහත සඳහන් දියමන්තිය සඟවාගෙන සිටි මෙම සැකකරු පදිංචි වී සිටි නිවසේ මෙසේ මෙම හෙරොයින් තොගය සඟවා තිබී සොයා ගන්නා ලද්දේ විශේෂ කාර්ය බළකාය මගින් එම නිවස පරික්ෂා කරනු ලැබූ අවස්ථාවේ දී ය බවත්ය.

පෑලියගොඩ කොට්ඨාස විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් මත එම ඒකකය මගින් පසුගිය 4 වැනිදා මෙම දොඩන්දුව වඩුගේ කැළුම් ඉන්දික සම්පත් නොහොත් කැවුමා හෙවත් ලෝකල් මධුෂ් අත්අඩංගුව ගනු ලැබිණි. එදින ද මෙම සැකකරුගේ නිවසේ තිබී හෙරොයින් මිලි ග්‍රැම් ප්‍රමාණයක් නවීන වර්ගයේ පිස්තෝල උණ්ඩ හත්සියයක පමණ ප්‍රමාණයක් රුපියල් කෝටි ගණනක රත්තරන්, දුරකතන අංක සහිත ජංගම දුරකතන විශාල ප්‍රමාණයක් ද සොයා ගනු ලැබිණි. එදින එසේ සොයාගත් ගිනි අවි සහ පතරොම් තොගය අනුව අනිවාර්යයෙන්ම මෙම නිවස ගිනි අවි ගබාඩාවක් ලෙස පවත්වාගෙන යන්නට ඇති බවත් පසුගිය කාලය පුරා දකුණේ මධුෂ්ගේ අනුදැනුම මත සිදු වී ඇති සියලුම අපරාධවලට මෙම ස්ථානයෙන් අවි ආයුධ නිකුත් කරන්නට ඇතැයි ද පොලිසිය සැක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි. විශේෂ කාර්ය බළකායේ සියයක පමණ පිරිසක් ඊයේ දහවල් සිට මෙම නිවස වටලා සම්පූර්ණ නිවසම පරික්ෂා කිරීම ආරම්භ කළේය.

ඒ අතර ඉතාමත් සුක්ෂම ලෙස නිවසේ සඟවා තිබූ මෙම හෙරොයින් තොගය සොයා ගැනීමට හැකි වී තිබුණි. ඊයේ පස්වරු පහ පමණ වන විටත් මෙම හෙරොයින් තොග කිරමින් පැවැති අතර එම නවසේ අස්සක් මුල්ලක්නෑර තවදුරටත් පරික්ෂාවට ලක්කරමින් පැවැතිණි. මේ අතර මෙම ස්ථානයේ මාධ්‍ය සාකච්ජාවක් පැවැත්වීමට පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා විසින් කටයුතු යොදා තිබුණි එහිදී මෙම මත්ද්‍රව්‍ය ජාවාරම කාලයක් තිස්සේ සිදුවී තිබී ඇති බවත් මුහුදු මාර්ග ඔස්සේ එන මත්කුඩු තොග මෙම ස්ථානයට ගෙන ගොස් ගබඩාකර වෙනත් ප්‍රදේශවලට බෙදා හැරීම සිදු වන්නට ඇති බවත් කියා සිටියි.

මේ අතර ගිනි අවි සහ දියමන්තිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි ලෝකල් මදුෂ්ගෙන් ප්‍රකාශ ලබාගෙන අනතුරුව පෙරේදා මහර අධිරණයට ඉදරිපත් කිරීමෙන් පසු ලබන 23 දක්වා රිමාන්ඩ් බාරයට පත් කර ඇත. මෙම සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී ද මෙම නිවස තුළ මත්ද්‍රව්‍ය ජාවාරම කරගෙන ගොස් ඇති බවට තොරතුරු අනාවරණය කරගෙන ඇත. මෙහිදී ලෝකල් මදුෂ් මෙම නිවස වැනි තවත් නිවාස කිහිපයක්ම කුලියට ගෙන ඇති බවත් මෙම මත්කුඩු තොග තිබූ නිවස මීට මාස කිහිපයකට පෙර මසකට රුපියල් පනස් දහසක කුලියට ගෙන ඇත. බවත් හෙළි වී තිබේ.

මේ අතර ලෝකල් මදුෂ් වරින්වර මෙසේ ගෙවල් කුලියටගෙන පදිංචි ස්ථාන මාරු කිරීම නිතරම සිදු කර තිබේ. පසුගිය දින අත්අඩංගුවට ගත් දියමන්තිය ද මොහු විසින් එම නිවසේ සඟවාගෙන තිබී තවත් සති කිහිපයකින් විදෙස් රටකට යැවීමට සුදානම්ව තිබිණි. මෙම නිවසේ සිට අත්අඩංගුවට පත් අනෙක් සැකකරුවන් දෙදෙනා ද මදුෂ්ගේ කල්ලියේ ගෝලයන් බවත් මොවුන් එම නිවස බලා කියා ගෙන සිට මෙම මත්කුඩු තොග ආරක්ෂා කළ පිරිස බවත් පවසයි.

විශේෂ කාර්ය බළකාය මේ සම්බන්ධයෙන් සිදු කරන වැටලීම් තව දුරටත් සිදු කර ගෙනයයි.

උපුටා ගැනීම දිනමිණ පුවත් පත ඇසුරෙනි

More News »