මහින්ද ගත් ණය ගෙවන ගමන් වැඩි අපනයන ආදායමක් ඉපයුවා

Mar 11, 2019 09.22am
feature-top
‘සිරිකොත ගමට’ ගෙන යෑමේ වැඩසටහනට එක්වෙමින් අගමැතිගෙන් මහින්දට උත්තර

වත්මන් යහපාලන ආණ්ඩුව රටේ බලය භාරගත් පසු මෙරට අපනයන භාණ්ඩ හා සේවා වලින් වැඩිම ආදායමක් ලැබු බවත් 2018 වර්ෂයේ දී ඩොලර් මිලියන 18000ක් ආදායම් ඉපැයූ බවත් වත්මන් ආණ්ඩුව සිවු වසරක් තුළ කෙළේ මොනවාදැයි විමසන මහින්ද රාජපක්ෂ මහතාට එය කදිම පිළිතුරක් බවත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (10) පැවසීය.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසුවේ කළුතර දිස්ත්‍රික්කයේ මැතිවරණ කොට්ඨාශ කීපයක ක්‍රියාත්මක කළ ගමට සිරිකොත ගෙන යෑමේ වැඩසටහනින් පසු බණ්ඩාරගම පැවති ජනහමුව අමතමිනි.

සිරිකොත ගමට ගෙන යෑමේ වැඩපිළිවෙළ කළුතර දිස්ත්‍රික්කයේ සියලූ මැතිවරණ කොට්ඨාශවල ඊයේ දිනය පුරා ක්‍රියාත්මක කෙරුණු අතර, එම වැඩපිළිවෙළ යටතේ පාක්‍ෂිකයින් මෙන්ම සෙසු ජන කොටස් මුණගැසෙමින් ඔවුන්ගේ අදහස් හා සුවදුක් විමසා බැලීම අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු විය.

පානදුර තොටවත්ත ප්‍රදේශයෙන් නිල වශයෙන් ආරම්භ වූ සිරිකොත ගමෙන් ගමට වැඩසටහනේ දෙවැනි පියවර හොරණ නගරයෙන් ආරම්භ විය. පානදුර සිට තට්ටුදෙකේ විවෘත බස් රථයකින් හොරණ නගරය වෙත වික්‍රමසිංහ මහතා පැමිණියේ මඟ දෙපස රැස්ව සිටි ජනතාවට ආචාර කරමින් ජනතාවගේ ප්‍රිති ඝෝෂා මධ්‍යයේය.

හොරණ නගරයේ ජනතාව සමඟ සුහදව කතාබහ කළ අගමැති වික්‍රමසිංහ මහතා ජනතාවගේ වෙළෙඳ ව්‍යාපාර තුළට ගොස් එම වෙළෙඳ සල්වල වත්මන් තත්ත්වය සහ ප්‍රදේශයේ ජනතාවගේ ගැටලු පිළිබඳව අවදානය යොමු කෙළේය.

හොරණ නගරයේ සිට අගමැතිවරයා ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂයේ ජනතා නියෝජිතයන් පිරිස මතුගම නගරයට ළඟා විය. මතුමග නගරයේ ජනතාව සමඟ ද වික්‍රමසිංහ මහතා සුහදව කතා කෙළේය. මතුගම ප්‍රදේශයේ තරුණ, තරුණියන් වෙත පක්ෂ සාමාජික කාඩ්පත් ලබාදීම වික්‍රමසිංහ මහතා අතින් සිදුවිය.

සිරිකොත ගමට ගෙනයෑමේ සමාරම්භක වැඩසටහනේ සිවුවන අදියර ලෙස බේරුවල මැතිවරණය කොට්ඨාශයේ ජනතාව මුණගැසීමට අගමැති වික්‍රමසිංහ මහතා බේරුවල නගර මධ්‍යට ගියේය. එහිදී මුස්ලිම් ජනතාවගේ ආශිර්වාදය වික්‍රමසිංහ මහතාට ලැබුණේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය.

ආණ්ඩුව කළ දේ මාධ්‍ය මඟින් ප්‍රචාරය වුණේ නැහැ. විශාල වැඩ කොටසක් සිදු කර තිබියදීත් අප කෙළේ මොනවාදැයි මහින්ද රාජපක්ෂ මහතා විමසනවා. මහින්ද රාජපක්ෂ මහතා ගෙන තිබූ ණය ගෙවන ගමන් තමයි සංවර්ධන කටයුතු කරන්නේ.අද සිරිකොත ගමට ගේන වැඩසටහන අපි කළුතර දිස්ත්‍රික්කයේන් ආරම්භ කළා. පළාත් සභ,නගර සභා, ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් මේ වන විට සෑම තැනම ශාඛා සමිති පිහිටවා තිබෙනවා. අපි එදා සිරිකොත ගමට ආවේ විපක්ෂය හැටියට. අද අපි සිරිකොත ගමට එන්නේ ආණ්ඩු පක්ෂය හැටියට. ප්‍රාදේශීය මට්ටමේ සංවර්ධනයක් කරන්න තමයි අපි එන්නේ. මහින්ද රාජපක්ෂ වගේ බොරු කියන්න නොවෙයි අපි එන්නේ.

මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ විපක්ෂයේ අය අපෙන් අහනවා මොකක්ද වත්මන් ආණ්ඩුව කෙළේ කියලා. 2010 සිට ණය අරගෙන රට විනාශ කළා. ඒ ණය වලට පොලිය ගෙවන්නවත් බැරි තරම් ණයක් තමයි මහින්ද රාජපක්ෂලා අරගෙන තිබුණේ. ජාත්‍යන්තරයේ තිබූ විශ්වාසය නැතිවුණා. සෞඛ්‍ය සේවය, අධ්‍යාපනය කඩාගෙන වැටුණා. ගම්වල දියුණුව නැවතුණා. අපි ඒ අයගේ කටින් කෙරූ සංවර්ධනය පමණක් මාධ්‍ය වලින් දැක්කා. අපි කළ සංවර්ධනය මාධ්‍ය මඟින් පෙන්නුවේ නෑ. මා බලාපොරොත්තු වෙනවා අපි කළ සංවර්ධනය මාධ්‍ය මඟින් පෙන්වයි කියා.

මහින්ද රාජපක්ෂ මහත්තයා රට පාලනය කරද්දි රට බෙදිලා තිබුණේ. ආපසු ණයක් ගන්නවත් ජාත්‍යන්තරය සමඟ විශ්වාසයක් තිබුණේ නෑ. ප්‍රජාතන්ත්‍රවාදයක් තිබුණේ නෑ.අපි මේ වසර හතර තුළ පසුගිය ආණ්ඩුව ගත් ණය ගෙවමින් විශාල වැඩ කටයුතු ප්‍රමාණයක් කළා. අපි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනය ගෙනාවා. පොලිසිය,අධිකරණය, රාජ්‍ය සේවා ස්වාධීන කළා වගේම කොමිෂන් සභා ඇති කළා. මානව හිමිකම් කොමිෂන් සභා ඇති කළා. තොරතුරු දැන ගැනීමේ පනත ගෙනාවා. අතුරුදහන් වූවන් සඳහා වූ කාර්යාලය ස්ථාපිත කළා. ජාතික විගණන පනත ගෙනාවා. කාන්තාවන්ට ප්‍රාදේශීය සභා පළාත් සභාවල නියෝජනය අැති කර දුන්නා. අධිකරණය ස්වාධීන කිරීමේ ප්‍රතිඵලයක් හැටියට තමයි අගෝස්තු 26 වැනිදා ප්‍රජාතන්ත්‍රවාදී විරුද්ධ කුමන්ත්‍රණයක් ඇති කරද්දි ඔබ සියලු දෙනාට හැකි වුණේ එය පරාජය කර ප්‍රජාතන්ත්‍රවාදය රැකගන්න.

ජාතික සංහිඳියාව ඇතිකරන්න අපි ජාතික සමගිය සහ සංහිඳියා කාර්යාලය ඇති කළා. අද පළමු වැනි වතාවට ජාතික ගීය දෙමළෙන් සහ සිංහලෙන් කියනවා අප එක මවකගේ දරුවෝ කියලා. අපි යාපනයට ගිහාම ජාතික ගීය දෙමළෙන්, සිංහලෙන් දෙකෙන්ම කියලා පටන්ගන්නේ. ඒකයි සංහිඳියාව කියන්නේ. අපි රටතුළ සංහිඳියාව ගොඩනැගීමේ යාන්ත්‍රණයක් ඇති කර තිබෙනවා. අපි මානව හිමිකම් සුරැකීමේ කොමිෂන් සභාව ඇති කළා, අපි මූල්‍ය වංචා විමර්ශනය කිරීම සඳහා ඒකකයක් ඇති කළා. ඒ විමර්ශන නඩු අහන්න විශේෂ උසාවියක් ගෙනාවා. ඒ උසාවිවල විශේෂ නඩු 30ක් විතර මේ වන විට අහමින් තිබෙනවා.

ස්වාධීන පොලිස් කොමිසම ඇති කරපු නිසා අපට පුළුවන් වී තිබෙනවා මත්ද්‍රව්‍ය සම්පුර්ණයෙන්ම නැති කරන වැඩසටහනක් ඇති කරන්න. පළවැනි වතාවට අපේ පක්ෂයේ පොලිසිය බාර ඇමැතිවරුන් තමයි ස්වාධීන අපරාධ අංශයත්, මත්ද්‍රව්‍ය මර්දන ඒකකයත්, විශේෂ කාර්ය බළකායයි තුනම එකතු කරලා විශාල බලකායක් නිර්මාණය කෙළේ. මත්ද්‍රව්‍ය මර්දනය කරන්න. මධූෂ් වගේ පාතාල කල්ලි අල්ලන්න හැකි වුණේ ඊට පස්සේ.අපි මේ රටේ ණය බර ස්ථාවර කර තිබෙනවා. අපි මේ වසරේ විතරක් ඩොලර් මිලියන 5900ක් ගෙවනවා. මේ අවුරුදු හතරේ අපි කොහොම හරි පසුගිය ආණ්ඩුව ගත් ණය ගෙව්වා. ඒ ණය ගෙවන එක අමාරු වුණා. රටේ ජනතාවටත් දුක් විඳින්න සිද්ධ වුණා. අනුන්ගේ පව් ආණ්ඩුවයි, රටේ ජනතාවයි ගෙව්වා.

මට ජනතාවගෙන් 75%ක් බැන්නා. මොනවද මේ කරන්නේ කියලා.සමහරු පොහොට්ටුවටත් ඡන්දය දුන්නා. නමුත් ජනතාව කොපමණ බැන්නත් අපි ඉදිරියට ක්‍රියාත්මක කරපු වැඩසටහන නැවැත්වුවේ නෑ. අපි එදා ඒ ක්‍රියාත්මක කළ වැඩසටහන්වල ප්‍රතිඵල අද ලැබී තිබෙනවා. අද අපනයන අපි වැඩිකර තිබෙනවා. එදා ලබා නොදුන් GSP + සහනය අද රටට ලැබෙනවා. අපි අපනයන භාණ්ඩ හා සේවා වලින් 2018 වසරේ පමණක් ඩොලර් මිලියන 18000ක් ආදායම් ලබා ගත්තා. එම ආදායම තමයි මෙතෙක් අපනයනයෙන් ඉපයූ වැඩිම ආදායම වන්නේ. මහින්ද රාජපක්ෂ මහත්තයා අපෙන් අහනවා මොනවද කෙළේ කියලා. එතුමාට කියන්න කැමතියි අපි පොල්ගෑවේ නෑ, රටේ සංවර්ධනය වෙනුවෙන් වැඩකළා.

අද නුවර, කොළඹ, හම්බන්තොට එක්කරන මහා අධිවෙගී මාර්ගයක් හදාගෙන යනවා.පසුගිය ආණ්ඩුව භාගයක් හදාගෙන ගියා. ඒකෙන් හොඳට කොමිස් ගැහුවා. දැන් 2021 වනවිට කොළඹ ඉදන් හම්බන්තොටට පැය හතරෙන් යන්න පුළුවන්. එම මහා මාර්ගය වටේ තමයි කර්මාන්ත හා සංචාරක කලාප විශාල ප්‍රාමාණයක් ඉදිකරන්නේ. එදා හම්බන්තොට වරාය සුදු අලියෙක් විතරයි. අද ලංකාවේ වරාය අධිකාරියයි, චයිනා මර්චන්ට් සමාගමයි එකතු වෙලා දියුණු කරන්න වැඩකටයුතු කරමින් සිටිනවා. තව වසර කීපයකින් මෙය සාර්ථකම වරායක් බවට පත්වෙනවා. දැනට අපි සංවර්ධනය වෙනුවෙන් වැය කළ මුදල් අපි නැවත උපයා තිබෙනවා.

තව දින කීපයක් තුළ මත්තල ගුවන්තොටුපොළ ලංකාවේ ගුවන් අධිකාරියයි, ඉන්දියානු ගුවන් අධිකාරියයි එකට එකතු වෙලා අලුත් සමාගමකින් ඉන්දියානු සංචාරකයින් මෙරටට ගෙන්වා ගැනීමේ වැඩසටහනක් ආරම්භ කරනවා.

කළුතර ඔබ ඉන්නේ .කටුනායකයි, මත්තල ගුවන් තොටුපළයි අතර ප්‍රදේශයේ, කොළඹ වරායයි හම්බන්තොට වරායයි අතර ප්‍රදේශයේ. මේ ගුවන්තොටුපොළවල්, වරායවල් පාඩු ලබමින් තියෙද්දි අපි ඒ පාඩුව නැවැත්තුවා. 2015 අපි බලයට එද්දි ලංකාවේ වෙළෙඳ කලාප 14න් අක්කර 600ක් හිස්ව ඉතිරිව තිබුණා. අපි වසර දෙකකින් ඒ අක්කර 600 පිරෙව්වා. අපි පසුගියදා අක්කර 1600ක විශාල වෙළෙඳ කලාපය බිංගිරිය ආරම්භ කළා.

මාවතගම අක්කර 700ක වෙළෙඳ කලාපයක් ආරම්භ වෙනවා. හම්බන්තොට අක්කර 5000 ක විශාල ආයෝජන කලාපයක්, මොනරාගල අක්කර 6000ක වෙළෙඳ කලාපයක් සහ බණ්ඩාරගම 1200ක අයෝජනය කලාපයක් ඉදිකිරීමට බලාපොරොත්තු වෙනවා. මෙම ආයෝජන ප්‍රවර්ධන කළාප හරහා ක්‍රමානුකූලව විදේශ විනිමය ලංකාවට ගේන්න පුළුවන්.

උතුරු පළාත සම්පූර්ණයෙන් අපි දියුණු කර තිබෙනවා. කන්කසන්තුරේ වරාය, පලාලි ගුවන්තොටුපොළ දියුණු කර උතුරේ සංචාරක ව්‍යපාරයට නව පනක් දෙනවා. ඒ වගේම උතුරේ අලුතින් නිවාස සහ මහා මාර්ග ඉදි වෙනවා. අපි උතුර අමතක කළෙත් නෑ. හලාවත ඉරණවිල විශාල හෝටල් කලාපයක් ඉදි කරමින් සිටිනවා. එවැනිම හෝටල් කළාප ගාල්ලේ සහ බෙන්තොට වාගේ ස්ථාන තුනක ඉදිරියේ දී ඉදි වෙනවා.

අපි සාමාන්‍ය ජනතාවට තමන්ගේ නිවෙසේම කුඩාවට සංචාරකයන් සඳහා නවාතැන් දෙන ස්ථාන ඇති කරන්න ආණ්ඩුවක් ලෙස උදව් කිරීමට බලාපොරොත්තුවෙන් සිටින බව කියන්න කැමතියි. ගම දියුණු කරන්න ගම්පෙරළිය තිබෙනවා. ණය ගන්න නම් එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන තිබෙනවා.මහ නගර සංවර්ධන අමාත්‍යාංශය මඟින් සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කරනවා. කොළඹ වරාය ජාඇල දක්වා දික් කරන්න වැඩ සටහනක් ක්‍රියාත්මක කරනවා. එය දකුණු ආසියාවේ විශාලතම වරාය බවට පත්වෙනවා. වරාය නගරයේ වැඩ කටයුතු විශාල ප්‍රමාණයක් අවසන්. මේ රටේ දුප්පත්කම නැති කරන්න සමෘද්ධි ප්‍රතිලාභීන් ලක්ෂ 6කින් වැඩිකරන්න කටයුතු කරමින් සිටිනවා. සෑම සමෘද්ධි ලාභියකුටම රුපියල් 30000 බැගින් කොටස් දෙකකට ණය දෙනවා.

මැදී ආදායම්ලාභීන් සඳහා නිවාස හා යටිතල පහසුකම් සංවර්ධන කිරීමේ කඩිනම් වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා. ගම් උදාව වැඩසටහන මඟින් ගමේ නිවාස හදනවා. වතුකරයේ නිවාස හදනවා. උතුරේ නිවස හදනවා.රජයේ සේවකයන්ගේ පඩි වැඩිකර තිබෙනවා. ඉන්දන මිල වෙළෙඳ පොළේ මිල අනුව දෙන්නේ. අත්‍යවශ්‍ය භාණ්ඩ කීපයක මිල අඩුකර තිබෙනවා. විශේෂ අත්‍යවශ්‍ය ඇති පුද්ගලයන්ගේ දීමනාව වැඩිකර තිබෙන. හඳුනා නොගත් වකුගඩු රෝගීන් සඳහා ලබා දෙන දීමනා රුපියල් 5000කින් වැඩිකර තිබෙනවා.

අඩු ආදායම්ලාභී අවුරුදු 70 වැඩිහිටියන් සඳහා මාසිකව ලබාදුන් රුපියල් 1000 දිමනාව 2000ක් බවට පත්කර තිබෙනවා. ගැබිණි මවුවරුන් සඳහා පෝෂණ මල්ල දෙනවා. රජයේ සේවකයන් සඳහා 2016 වසරේ සිට නව වැටුප් ක්‍රමයක් අපි ලබා දී තිබෙනවා. සුව ඇමැති රාජිත සේනාරත්න මහතාගේ අමාත්‍යාංශය යටතේ වකුගඩු රෝගය නිවාරණයට පොළොන්නරුවේ නව වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා. මහනුවර ශික්ෂණ රෝහල් ඇටමිදුලු බද්ධ කිරීමේ ඒකකයක් ඉදිකර තිබෙනවා. වකුගඩු රෝග බහුලව ව්‍යාප්ත වන ප්‍රදේශවල රුධිර පාරවිලයන මධ්‍යස්ථාන ඇති කර තිබෙනවා. මහරගම වැනි පිළිකා රෝහල් හයක් ඇති කර තිබෙනවා.

මම මෑතකදි ගියා යාපනයට. මම යාපනයට ගිහාම පුදුම වුණා එහි රෝහලවල සංවර්ධනය දැකලා. උතුරේ සියලුම රෝහල් සඳහා නවීන බඩු භාණ්ඩ ලබා දී තිබෙනවා. යාපනයේ පමණක් නෙමෙයි සෑම දිස්ත්‍රික්කයකම නවින රෝහලක් රාජිත ඇමැතිතුමාගේ මැදිහත්වීම මත ඉදිකරදී තිබෙනවා. ඔබේ කළුතර දිස්ත්‍රික්කයේත් රෝහල් දෙකක් තිබෙනවා.

ස්ටෙන්ස් නොමිලේ දෙනවා, බෙහෙත් මිල සියයට 60ක් අඩුකර තිබෙනවා. අපි මේ වසර පහ තුළ නිකන් හිටියේ නෑ. දිවයින පුරා ඕනෑම වේලාවක් සුවසැරිය ක්‍රියාත්මක වෙනවා. මුළු පොහොට්ටුවම සුව සැරියේ දාලා යවන්න ඕනේ.

සෑම දරුවකුටම වසර 13 ක අධ්‍යාපනය ලබාදීම මේ වසරේ සිට ක්‍රියාත්මක කර තිබෙනවා. ළඟම පාසල හොඳම පාසල යටතේ නව ගොඩනැගිලි, ක්‍රීඩාංගන, පිහිනුම් තටාක ලබ දී තිබෙනවා.ස්මාර්ට් පංතිකාමර හඳුන්වාදී තිබෙනවා. සුරක්ෂා රක්ෂණය ලබාදී තිබෙනවා. ක්‍රීඩා ශිෂ්‍යත්වලාභීන්ගේ දීමනාව රුපියල් 5000ක් බවට පත්කර තිබෙනවා. පහේ ශිෂ්‍යත්ව දීමනාව රුපියල් 750 දක්වා වැඩිකර දී තිබෙනවා. විද්‍යාපීඨ සිසුන්ගේ මාසික දීමනාව රුපියල් 5000 දක්වා වැඩිකර දී තිබෙනවා. අපි පුහුණු ගුරුවරුන් පමණක් බඳවා ගැනීමට තීරණය කර තිබෙනවා.

රජයේ විශ්වවිද්‍යාලය දියුණු කර තිබෙනවා. අලුතින් විද්‍යාපීඨ තුනක් දිවයින පුරා ඉදි කරන්න බලාපොරොත්තු වෙනවා. රජයේ විශ්වවිද්‍යාලය වලට ඇතුළත් වීමට නොහැකී වූ සිසුන්ට පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතන මඟින් උපාධිය හැදෑරීමට පොලී රහිත ණය ලබා දීමට බලාපොරොත්තු වෙනවා. විශ්වවිද්‍යාල සිසුන්ට පොලී රහිතව ලැප්ටොප් පරිඝනක ලබදී තිබෙනවා. මහපොළ ශිෂ්‍යත්වය රුපියල් 2500කින් වැඩිකර තිබෙනවා. උසස් පෙළ පන්තිවලට ටැබ් ලබා දීමේ වැඩසටහනක් ආරම්භ කරනවා.

ගිය සතියේ තාක්ෂණික ඩිප්ලෝමා ගුරුවරුන් 3000කට එම තාක්ෂණික ඩිප්ලෝමා උපාධිය ලබාදුන්නා.ගමට කෝටිය වැඩසටහන යටතේ තරුණ තරුණියන්ගේ හෙට දවස ශක්තිමත් කර තිබෙනවා. තරුණ පාර්ලිමේන්තුව නැවත ස්ථාපනය කර තිබෙනවා.

කුළුණු මත ඉදිවෙන වරාය පිවිසුම් අධිවේගී මාර්ගයක් ඉදි කරනවා. හෝමාගම නව නගරය ඉදිවෙනවා. කොළඹ සිට රාජගිරිය දක්වා කුළුණු මත ඉදිවන විශේෂ මාර්ගයක් ඉදිකර වාහන තදබදය නවත්වනවා. විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන ආරම්භ කරනවා. මොරගහකන්ද ජලාශයේ වැඩ කටයුතු ආරම්භ කර තිබෙනවා. කල්පිටිගල ජලාශයේ වැඩකටයුතු ආරම්භ කර තිබෙනවා.

දිවයින පුරා නගර සංවර්ධන වැඩසටහන් 100කට අධික සංඛ්‍යාවක් ක්‍රියාත්මක කර තිබෙනවා. මහ කොළඹ ඝන අපද්‍රව්‍ය කලමනාකරණය සඳහා වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා. පෑලියගොඩ එළවළු වෙළෙඳ සංකීර්ණයේ වැඩකටයුතු අවසන්, සැහැල්ලු දුම්රිය සේවාව, නාගරික පුනර්ජීවන වැඩසටහන යටතේ නිවාස 10000ක් ඉදිකර අවසන්. බේරේ වැව ප්‍රතිසංස්කරණය ආරම්භ කර තිබෙනවා. ප්‍රජා ජල යෝජනා ක්‍රමය යටතේ ගමට ජලය ලබාදී තිබෙනවා. මේ වගේ තවත් බොහෝ සංවර්ධන වැඩසටහන් වත්මන් ආණ්ඩුව ක්‍රියාත්මක කර තිබෙනවා.

මෙවැනි සංවර්ධන වැඩසටහන් ජනතාව අතරට පත්වෙද්දි බලය ලබාදිය යුත්තේ අපිටද නැත්නම් මහින්ද රාජපක්ෂ මහතාටද. අපේ අඩුපාඩු තියෙනවා ඇති. නමුත් අපි රට ආපසු ගොඩ ගත්තා.රට ඉදිරියට ගෙනයනවා. ලෝකය අපිව පිළිගන්නවා. ඒ නිසා තමයි අද සිරිකොත ගමට ගෙනත් තිබෙන්නේ. එක්සත් ජාතික පක්ෂය හා එක්සත් ජාතික පෙරමුණ මඟින් ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කර තිබෙනවා. පොහොට්ටුවට ආණ්ඩු බලය ලබා දුන්නොත් ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා වෙන්නේ නෑ. බලයට කෑදර වෙලා තමයි ඒ අය ඔක්තෝබර් මාසයේ බලයට ආවේ. ඒ අයගේ දින 51ආණ්ඩුවේ ගම්පෙරළිය අහෝසි කළා. බඩු මිල අඩුකරනවා කිව්වාට බඩුමිල අඩු කෙළේ නෑ. වැඩකරන්න බැරි මිනිස්සුන්ට ආණ්ඩු භාරදීලා වැඩක් නෑ. ඒ නිසා ජනතාවට වැඩකරන එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් හදමු කියන්න කැමතියි.

මෙම අවස්ථාවට එක්සත් ජාතික පක්‍ෂයේ සභාපති කබීර් හෂීම්, මහ ලේකම් අකිල විරාජ් කාරියවසම්, උප නායක රවි කරුණානායක, ජ්‍යෙෂ්ඨ උප සභාපති ලක්‍ෂ්මන් කිරිඇල්ල, ජාතික සංවිධායක නවීන් දිසානායක, රාජ්‍ය පරිපාලන හා ආපදා කළමනාකරණ ඇමැති රංජිත් මද්දුමබණ්ඩාර, සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අැමැති රාජිත සේනාරත්න,ඩිජිටල් යටිතල පහසුකම් හා තොරතුරු තාක්‍ෂණ අැමැති අජිත් පී. පෙරේරා,මහා නගර හා බස්නාහිර සංවර්ධන අැමැති පාඨලී චම්පික රණවක, සමාජ සවි බලගැන්වීම් නියෝජ්‍ය අැමැති පාලිත තෙවරප්පෙරුම ඇතුළු එජාප ක්‍රියාකාරීහු විශාල පිරිසක් එක්ව සිටියහ.

උපුටා ගැනීම දිනමිණ පුවත් පත ඇසුරෙනි

More News »