කිසිවකුටත් සාදාගත නොහැකි වූ අධ්‍යාපනයේ රාමුව තනා අවසන්

Mar 09, 2019 09.23am
feature-top
කිසිවකුටත් සාදාගත නොහැකිව තිබූ අනාගත අධ්‍යාපනයේ රාමුව මේ වන විට සාදා අවසන් බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. එම රාමුව ඉදිරියට ගෙන යෑම මේ රටේ ගුරුවරුන් සතු වගකීම බව ද අගමැතිවරයා පෙන්වා දෙයි. මේ රටේ අධ්‍යාපනය දියුණු කිරීමට නම් පළමුව ඉතා හොඳ ගුරුවරුන් පිරිසක් රටට අවශ්‍ය බව පවසන අගමැති රනිල් වික්‍රමසිංහ මහතා, ඒ සඳහා ගුරුවරුන්ට විධිමත් පුහුණුවක් ලබා දීම අත්‍යාවශ්‍ය බව පෙන්වා දෙයි.

නවීන අධ්‍යාපන ක්‍රමයක් මෙරට ඇති කිරීම සඳහා එදා අධ්‍යාපන ඇමැතිවරයා ලෙස තමා ආරම්භ කළ වැඩපිළිවෙළේ අවසන් කිරීමට නොහැකි වූ කටයුතු 2015 යළි අගමැති ධුරයට පත්වීමෙන් පසු ක්‍රියාත්මක කිරීමට තමා තීරණය කළ බව ද අගමැතිවරයා පවසයි. අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවැසුවේ ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාධාරීන් 3000කට පත්වීම් ලිපි ලබා දීම නිමිත්තෙන් අරලියගහ මන්දිරයේ ඊයේ (8) පැවැති උත්සවයේ දී ය.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා එහි දී මෙසේ ද පැවැසීය.

මෙරට ආර්ථිකයේ ස්ථාවරභාවයක් ඇති කිරීමට තව අවුරුදු තුන හතරක් ගත වෙනවා. ඒ කාල සීමාවෙන් පසු මේ රට ඉදිරියට යනවා. ලෝකයේ ඉදිරියට යන්න අපට තිබෙන එකම සම්පත මිනිස් සම්පතයි. මේ රට ලෝකයේ ඉදිරියට යන්න නම් ඒ මිනිස් සම්පතට නවීන අධ්‍යාපන ක්‍රමයක් අවශ්‍යයි. අපි ගුරුවරුන් පුහුණු කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කර තිබෙන්නේ ඒ නිසයි. මේ විදිහට ගුරුවරුන්ට පුහුණුව ලබා දෙන්න, ඒ අයට ඩිප්ලෝමා ලබා දෙන්න නම් අධ්‍යාපන විද්‍යාපීඨ ගණන වැඩි කරන්න වෙනවා. ඒ අනුව අඩුම තරමින් විද්‍යා ගුරුවරුන් සඳහා තව අධ්‍යාපන විද්‍යාපීඨ දෙකකට අපට මුදල් වෙන් කර දෙන්න තිබෙනවා.

මේ වසර පහේ දී අපි අධ්‍යාපනය සඳහා විශාල මුදලක් යොදවා තිබෙනවා. අපේ අධ්‍යාපනයේ රාමුව අපි සකස් කර තිබෙනවා. අධ්‍යාපන පද්ධතියට පුහුණු ගුරුවරුන් ලබා දීම, පළමු වතාවට වසර 13ක සහතික කළ අධ්‍යාපන ක්‍රමය හඳුන්වා දීම, ළඟම පාසල හොඳම පාසල වැඩපිළිවෙළ යටතේ පාසල්වලට අවශ්‍ය ගොඩනැඟිලි ලබා දීම, පාසල්වලට නවීන තාක්ෂණය ලබා දීම, කලාව, ක්‍රීඩාව වැනි අංශවලට සිසුන් යොමු කිරීම කියන ප්‍රධාන කරුණු පහ දැන් අපි ක්‍රියාත්මක කර තිබෙනවා. මේ කටයුතු මීට පෙර සිදු වුණේ නෑ. මෙතැන තිබෙන්නේ සෝබනයට වැඩ කිරීම නෙවෙයි. මේක ප්‍රතිඵල ලබා දෙන දෙයක්. ඒ නිසා මේ පසුබිම යටතේ ඉහළ ප්‍රතිඵල පෙන්වීම ගුරුවරුන් වන ඔබ සියලුදෙනාගේ වගකීමයි. පන්ති කාමර භාර ගෙන මීට වඩා හොඳ ශිෂ්‍ය ශිෂ්‍යාවන් බිහි කිරීමේ වගකීම ගුරුවරුන් සතුයි. ඔබ සියලුදෙනාම සාර්ථක වෙනවා නම් මේ රට සාර්ථක වෙනවා. ඒ නිසා ඒ වගකීම අප ඔබ වෙත භාර දෙනවා.

අගමැති රනිල් වික්‍රමසිංහ, අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම්, ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ජයන්ති ගුණසේකර මහත්ම මහත්මීන් ඇතුළු ආරාධිතයන් අතින් පත්වීම් ප්‍රදානය සිදුවිය.



උපුටා ගැනීම දිනමිණ පුවත් පත ඇසුරෙනි

More News »