වසර දෙකකදී මත් උවදුර ඉවතට

Mar 09, 2019 09.22am
feature-top
ත්‍රිවිධ හමුදාවෙන් මහා පරිමාණ මෙහෙයුමක්

ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය එක්ව තිස් වසරක් පුරා මෙරට පැවැති කුරුරු ත්‍රස්තවාදය වසර තුනක් වැනි කෙටි කාලයක් තුළ සම්පූර්ණයෙන්ම අවසන් කළා සේ මේ වන විට මෙරටට මහා පිළිලයක් වී තිබෙන විෂ මත්ද්‍රව්‍ය උවදුර වසර දෙකක ඉලක්ක ගත කාලයක් තුළ මුළුමනින්ම නැති කර දැමීමේ මහා මෙහෙයුමක් ත්‍රිවිධ හමුදාව මගින් ආරම්භ කරයි.

ත්‍රිවිධ හමුදා බුද්ධි අංශ ජාත්‍යන්තර බුද්ධි අංශ පොලිස් බුද්ධි අංශ සහ විශේෂ කාර්ය බළකා බුද්ධි අංශ එකතුව රට පුරා විසිරී ගොස් මත්ද්‍රව්‍ය ජාවාරමේ අග මුල සොයාගෙන ඒවාට සම්බන්ධ ජාවාරම්කරුවන් බෙදා හරින්නන් ප්‍රවාහනය කරන්නන් ඇතුළු සියලු කොටස් කොටු කර ගැනීමට සිදු කරනු ලබන මේ මෙහෙයුමට ජාත්‍යන්තර වශයෙන් ද විශාල සහයෝගයක් ලබා ගැනීමට ද ත්‍රිවිධ හමුදාව බලාපොරොත්තු වෙයි.

මත්ද්‍රව්‍ය මෙරටින් සම්පූර්ණයෙන්ම තුරන් කිරීම පිණිස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ගෙන ඇති දැවැන්ත වැඩපිළිවෙළට සම්පූර්ණ සහයෝගය දෙමින් මත්ද්‍රව්‍ය ජනාධිපති කාර්ය සාධක බළකායේ මත්ද්‍රව්‍ය තුරන් කිරීමේ මහා වැඩපිළිවෙළට සහයෝගය දෙමින් ක්‍රියා කරන බව පවසමින් ඊයේ මාධ්‍ය සාකච්ඡාවක් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ඇතුළු ත්‍රිවිධ හමුදාපතිවරු සහ තවත් නිලධාරීන් රැසකගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.

මෙරටට මහා භීෂණයක්ව තිබූ ත්‍රස්තවාදය වසර තුනකට ආසන්න කෙටි කාලයකින් ඉතාමත් සාර්ථකව අවසන් කළා. ඒ වගේම අද වන විට මෙරටට විශාල ගැටලුවක්ව ඇති විෂ මත්ද්‍රව්‍ය උවදුර සම්පූර්ණයෙන්ම නැති කර දැමීමට කටයුතු කරන බව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්න, යුද්ධ හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක, නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල්ද සිල්වා, ගුවන් හමුදාපති එයාර් මාෂල් කපිල ජයම්පති විසින් මෙහි දී සහතික කළහ.

අපේ බුද්ධි අංශ ඉතාමත් ප්‍රබලයි. ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ බුද්ධි අංශ රට පුරා විහිදී සිටිනවා. ඒ වගේම පසුගිය කාලයේ මේ බුද්ධි තොරතුරුවලින් වැදගත් මත්ද්‍රව්‍ය තොරතුරු විශාල ප්‍රමාණයක් එක්රැස් කරගෙන ඒ හරහා වැටලීම් ගණනාවක් සාර්ථකව කළා.

ඒ අනුව ඉතාමත් කෙටි කාලයක් තුළ මත්කුඩු ටොන් එකක් පමණ අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව ද පැවැසීය.

යුද්ධ හමුදාව මේ වන විට පොලිසියේ ඉල්ලීම මත මත්ද්‍රව්‍ය වැටලීම්වලට සහයෝගය දෙමින් සිටියි. ඒහා සම්බන්ධ කරුණු ඉදිරිපත් කරමින් යුද්ධ හමුදාපතිවරයා කියා සිටියේ අද සමාජයේ අඩු ආදායම්ලාභී පවුල්වලින් තුනෙන් එකක් මත්ද්‍රව්‍ය පානයට ගොදුරු වී සිටිනවා. මේ වන විට මත්ද්‍රව්‍ය නිවාරණයටත් පසල් ළමුන් දැනුම්වත් කිරීම මහජනතාව දැනුම්වත් කිරීම සහ අත්අඩංගුවට ගැනීම් ඇතුළු බොහෝ කර්තව්‍යයන්ට සහයෝගය දෙමින් සිටින අතර, පුනරුත්ථාපන වැඩසටහන්වලට ද සහයෝගය දෙන බවත් පවසන යුද්ධ හමුදාපතිවරයා රට පුරා විසිරී සිටින යුද්ධ හමුදා බුද්ධි අංශ විසින් හෙළි කර ගන්නා මත්ද්‍රව්‍ය ජාවාරම් ජාලයේ තොරතුරු විශේෂ කාර්ය බළකාය පොලිසියට ලබා දෙමින් එම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් කොටු කර ගැනීමේ මෙහෙයුමට මේ වන විට ලබා දෙන දායකත්වය මේ නව වැඩසටහන තුළින් තව දුරටත් පුළුල් ලෙස සිදු කර වඩාත් වැඩි දායකත්වයක් ලබා දෙන බවයි.

නාවික හමුදාව මේ වන විට රට පුරා ඇති මුහුදු තීරයේ මුහුදු සැතපුම් 12ක් දුරට ඇති මුහුදු ප්‍රදේශය පුරා මත්ද්‍රව්‍ය ප්‍රවාහන නෞකා කොටු කර ගැනීමේ මෙහෙයුම් දියත් කර තිබේ. පසුගිය කාලය තුළ මේ ආකාරයෙන් සිදු කරන ලද මෙහෙයුම්වලින් මෙරටට ඇතුළු කිරීමට උත්සාහ කළ මත්ද්‍රව්‍ය තොග සහිත නෞකා කිහිපයක්ම කොටු කර ගැනීමට හැකි විය.

මෙරටට වැඩි වශයෙන්ම මත්ද්‍රව්‍ය ගෙන එනු ලබන්නේ ඇෆ්ගනිස්ථානය, පාකිස්තානය, ඉරානය ඇතුළු රටවල් ගණනාවකින්ය. ජාවාරම්කරුවන් එම රටවලින් එළියට දමනු ලබන මත්කුඩු තොග මුහුදු ගමන් මාර්ග ඔස්සේ නැව්වලින් ගෙනවිත් අතර මඟදී බෝට්ටුවලට සහ ධීවර බෝට්ටුවලට දමනු ලබයි. මෙහි දී වැඩිම මත්ද්‍රව්‍ය තොග ප්‍රවාහනය කෙරෙන්නේ අප්‍රිකානු මහද්වීපය හරහා වෙයි. මේ වන විට ජාත්‍යන්තර වශයෙන් මත්ද්‍රව්‍ය තොග කොටු කර ගැනීම පිණිස පිහිටුවා ඇති විශේෂ බළකා 150 සහ 151 යටතේ එම මෙහෙයුම් ක්‍රියාත්මක වන අතර, ඒකාබද්ධ සාගර මෙහෙයුම් ඒකකය මගින්ද මෙරටට තොරතුරු ලබා දෙයි.

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්න මහතාත් නාවික හමුදාපති අද්මිරාල් පියල් ද සිල්වා මහතාත් පවසා සිටියේ මෙරටට මත්කුඩු එන්නේ මක්ක්‍රාන් තීරය හරහා මාලදිවයිනට යටින් පාකිස්තානය සහ ඉරානයට යාබදව එන මුහුදු තීරය ඔස්සේය.

දිනපතා බහුදින ධීවර යාත්‍රා 3200ක් පමණ මුහුද තුළ සැරිසරයි. මත්ද්‍රව්‍ය රට තුළට ඇතුළු කිරීමට වැඩි වශයෙන් යොදා ගන්නේ මේ ට්‍රෝලර් යාත්‍රා බව පවසන නාවික හමුදාපතිවරයා මුහුදු මෙහෙයුම්වල යෙදී සිටින නාවික හමුදා නිරතුරුවම මේ යාත්‍රා පරීක්ෂාවට ලක් කරන බවද කියයි.

මෙරට මුහුදු තීරය වටා ධීවර වරායන් 17ක් තිබේ. කේරල ගංජා විශාල වශයෙන් හුවමාරු වන්නේද මේ ධීවර යාත්‍රා හරහා වෙයි. පසුගිය වසර තුන තුළ නාවික හමුදාව මගින් කේරල ගංජා කිලෝ පන්දහසකට ආසන්න ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන ඇත. පසුගිය කාලය තුළ ඒකාබද්ධ සාගර මෙහෙයුම් ඒකකයේ තොරතුරුවලට අනුව හෙරොයින් ටොන් පනස් දෙකකට වැඩි ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන ඇත.

මේ අතර ගුවන් හමුදාව මේ වන විට ගුවන් නිරීක්ෂණ කටයුතු හරහා මෙරටට ඇතුළු වන සැක සහිත යාත්‍රාවන් කොටු කර ගැනීමට සහාය වන අතර, දවසේ පැය විසි හතර පුරාම ගුවන් මෙහෙයුම් සිදු කර ගෙන යයි. විශේෂයෙන් රට තුළ ගොඩ බිමෙන් ඇතුළු විය නොහැකි කැලෑවල සාර්ථකව කරගෙන යන කංසා වගාවන් අක්කර දහස් ගණනක් හඳුනාගෙන ඒවා විනාශ කිරීමේ ඉලක්කයන් සාර්ථකව සිදු කර තිබේ. මේ නව මෙහෙයුම් ඔස්සේද ගුවන් හමුදාව රට තුළින් මත්ද්‍රව්‍ය සම්පූර්ණයෙන්ම විනාශ කර දැමීමේ මෙහෙයුමට සිය බුද්ධි නිරීක්ෂණ මෙහෙයුම් ඇතුළුව විවිධ කර්තව්‍යයන් ඔස්සේ විශාල සහයෝගයක් ලබාදීමට සූදානමින් සිටින බව ද ගුවන් හමුදාපති එයාර් මාෂල් කපිල ජයම්පති මහතා පැවැසීය.



උපුටා ගැනීම දිනමිණ පුවත් පත ඇසුරෙනි

More News »