ශිවරාත්‍රී දිනයට දැල්වෙන පහනින් ලොවම ආලෝකවත් වෙනවා

Mar 04, 2019 10.35am
feature-top
මහා ශිවරාත්‍රී දිනය වෙනුවෙන් දැල්වෙන පහනින් ලොවම ආලෝක වන්නා සේ ලෝකවාසී හින්දු ජනයාගේ ආධ්‍යාත්මික ජීවිතත් ආලෝකවත් වේවායි ඉතසිතින් ශුභාශිංසනය කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කරයි.

අදට (04) යෙදෙන මහා ශිවරාත්‍රී දිනය නිමිත්තෙන් සුබපැතුම් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා එසේ කියා සිටියි.

එම සුබපැතුම් පණිවුඩයේ මෙසේද සඳහන් වේ.

එකම මිනිස් පවුලක නෑසියන් වන අප දරන විවිධාකාර බාහිර බෙදීම් ඉක්ම වූ කල නැවතත් ආධ්‍යාත්මික තලයේ දී එක ම මිනිස් පවුලක් බවට පත්වීමට අපට ඇති හැකියාව මිනිසත්කමේ මහිමයයි. ඒ මිනිසත්කම සරසන ප්‍රමුඛතම ආභරණය වන්නේ අපගේ සංස්කෘතියයි. ඒ අර්ථයෙන් ගත් කල ආගම දහම යනු එකී සංස්කෘතියේ පදනම යැයි කිව හැකි ය.

අධ්‍යතන අධිවේගී සමාජය විසින් ඇතිකරනු ලබන මානසික ආතතිය නිසාම අන් කවරදාටත් වඩා වත්මන් සමාජය ආධ්‍යාත්මික සංහිඳියාව කෙරෙහි යොමුවෙමින් සිටින බව පෙනී යයි. එසේම මිනිසාට ස්වකීය ආධ්‍යාත්මය සන්සුන් කරලීමට අතීතයේ සිට ම මඟ පෙන්වන්නේ භාවනාවයි. ලෝකවාසී හින්දු ජනයා තම ප්‍රමුඛතම නිමැවුම්කරුවා ලෙස සලකන ශිව දෙවියන් උදෙසා රැය නිදිවරා උපවාසය රකිමින් භාවනානුයෝගී ව ස්වකීය ආධ්‍යාත්මික සංවරතාව වෙනුවෙන් කටයුතු කරන ආගමික හා සංස්කෘතික දිනය වශයෙන් මහා ශිවරාත්‍රී දිනය සමරති. අපගේ මාතෘභූමියේ හා ලොව පුරා වෙසෙන හින්දු භක්තිකයන් ගේ එකී ආත්මීය ප්‍රාර්ථනා ඉටු වී ඔවුන් ගේ ජීවිත ගුණයහපත් වීමෙන්, ඔවුන් හා සමඟ වෙසෙන සෙසු ජනයාගේ ජීවිතවලට ද එමඟින් ආලෝකයක් එක් කරන බවට සැකයක් නැත.

එසේම එය අන්තර් ආගමික සංහිඳියාවට ද ඉඩ ප්‍රස්ථා සලසයි. එබැවින් මෙවර ශිවරාත්‍රී දිනය වෙනුවෙන් දැල්වෙන පහනින් ලොව ම ආලෝක වන්නා සේ ලෝකවාසී හින්දු ජනයාගේ ආධ්‍යාත්මික ජීවිතත් ආලෝකවත් වේවායි ඉතසිතින් ශුභාශිංසනය කරමි.

උපුටා ගැනීම දිනමිණ පුවත් පත ඇසුරෙනි

More News »