මන්ත්‍රී බන්දුල ණය නොගෙව්වොත් දේපොළ වෙන්දේසියේ

Feb 27, 2019 09.20am
feature-top
කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු

පෑන්ඒෂියා බැංකුවෙන් ලබාගත් රුපියල් එක්කෝටි විසි ලක්ෂයක ණය මුදල් නොගෙවුවොත් හිටපු මුදල් ඇමැති පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතාගේ නුගේගොඩ ජම්බුගස්මුල්ල මාවතේ පිහිටි ඔහුට අයත් දේපොළ ප්‍රසිද්ධ වෙන්දේසියේ විකුණා මුදල් අයකැර ගන්නා ලෙස කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු අශාන් මරික්කාර් මහතා නියම කෙළේය.

තමා අත්සන් කරනුයේ උකස්කරයකට බව නොදැන යම් ලේඛනයකට අත්සන් කළ බවට බන්දුල ගුණවර්ධන මහතා පැවසුවද ප්‍රසිද්ධ උපකාරක පන්ති ගුරුවරයකු වූ බන්දුල ගුණවර්ධන මහතා වැන්නකු තමා නොදැන යම් ලේඛනයකට අත්සන්කෙළේ යැයි පවසන කරුණු පිළිගත නොහැකි බව තීන්දු කරමින් විනිසුරුවරයා එම නියෝගය නිකුත් කෙළේය.

බැංකු අයිරාවක් හා ණය වශයෙන් ලබාගත් මුදල් බන්දුල ගුණවර්ධන මහතා විසින් නොගෙවුවොත් ඔහුට අයත් දේපොළ ප්‍රසිද්ධ වෙන්දේසියේ විකුණා එම මුදල් අයකර ගන්නා ලෙසට මහාධිකරණ විනිසුරුවරයා නියම කෙළේය.

මුදල් හා ඊට අදාළ පොලී මුදල් උපයා ගැනීම සඳහා පෑන්ඒෂියා බෑන්කින් කෝපරේෂන් ආයතනය විසින් මහරගම නාවින්න හයිලෙවල් පාරේ අල්ෆා ඩිජිටල් පුද්ගලික සමාගම හා නුගේගොඩ ගංගොඩවිල ජම්බුගස්මුල්ල මාවතේ අංක 28 දරන ස්ථානයේ පදිංචි බන්දුල ගුණවර්ධන මහතාට එරෙහිව මෙම නඩුව පවරා තිබුණි.

දෙවැනි විත්තිකාර බන්දුල ගුණවර්ධන මහතා අල්ෆා ඩිජිටල් පුද්ගලික සමාගම වෙනුවෙන් රුපියල් එක්කෝටි විසි ලක්ෂයක බැංකු අයිරා හා ණය මුදල් ලබා ගැනීමේ දී නුගේගොඩ ගංගොඩවිල ජම්බුගස්මුල්ල මාවතේ අංක 28 දරන ස්ථානය ඇපයක් වශයෙන් ඉදිරිපත් කොට තිබූ බවට පැමිණිලිකාර බැංකුව අධිකරණයට දැනුම් දී තිබුණි.

අදාළ ණය මුදල් හෝ ඊට අදාළ පොලී මුදල් නොගෙවීම මත එම මුදල් අයකර ගැනීම සඳහා නුගේගොඩ ගංගොඩවිල ජම්බුගස්මුල්ල මාවතේ පිහිටි දේපොළ ප්‍රසිද්ධ වෙන්දේසියේ විකිණීමට මෙම නඩුව පවරා තිබුණි.

බැංකුව වෙනුවෙන් එකී බැංකු නිලධාරීන්, නීති නිලධාරීන් ඇතුළු පිරිසක් සාක්කි දුන් අතර විත්ති පාර්ශ්වය වෙනුවෙන් බන්දුල ගුණවර්ධන මහතා අධිකරණයේ සාක්කි දෙමින් තමා බැංකුවේදී ඇපකරයක් ලෙස යම් ලේඛනයකට අත්සන් තැබුවද තමා උකස්කරයකට අත්සන් නොකළ බව පැවසීය.

දීර්ඝ නඩු විමසීමක් අවසානයේ සිය තීන්දුව ප්‍රකාශයට පත් කළ විනිසුරුවරයා ප්‍රකාශ කර සිටියේ දෙවැනි විත්තිකාර බන්දුල ගුණවර්ධන මහතා අධිකරණයේ සාක්කි දෙමින් තමා අත්සන් කරන්නේ උකස්කරයකට බව නොදැන යම් ලේඛනයකට අත්සන් කළ බවට පැවසුව ද ප්‍රසිද්ධ උපකාරක පන්ති ගුරුවරයකු වූ බන්දුල ගුණවර්ධන මහතා වැන්නකු නොදැන යම් ලේඛනයකට අත්සන් කළ බව කියන කරුණ පිළිගත නොහැකි බවයි.

තමා අත්සන් කරනුයේ උකස්කරයකට බව හොඳින්ම දැන බන්දුල ගුණවර්ධන මහතා අදාළ ලේඛනවලට අත්සන් කර ඇති බව පැහැදිලිව පෙනී යන බවට සිය තීන්දුවෙන් සඳහන් කළ විනිසුරුවරයා පෑන්ඒෂියා බැංකුවෙන් ලබාගත් රුපියල් එක්කෝටි විසි ලක්ෂයක බැංකු අයිරා හා ණය මුදල් නොගෙවුවහොත් ඒ වෙනුවෙන් ඇපයට තබා ඇති හිටපු මුදල් ඇමැති පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතාට අයත් නුගේගොඩ ජම්බුගස්මුල්ල මාවතේ පිහිටි ඔහුට අයත් අංක 28 දරන දේපොළ ප්‍රසිද්ධ වෙන්දේසියේ විකුණා එම මුදල් අයකර ගැනීමට නියම කෙළේය.

පැමිණිලිකාර පෑන්ඒෂියා බැංකුව වෙනුවෙන් නීතිඥ වරුණි එගොඩගේ මහත්මියගේ උපදෙස් මත නීතිඥ ඉර්ෆාන් බාචා මහතා සමඟ නීතිඥ වරුණ සේනාධීර මහතා පෙනී සිටියේය.

බන්දුල ගුණවර්ධන මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ පාලිත කුමාරසිංහ මහතා පෙනී සිටියේය.

උපුටා ගැනීම දිනමිණ පුවත් පත ඇසුරෙනි

More News »