ලොකුම මත්කුඩු තොගය රථගාලේ

Feb 25, 2019 11.15am
feature-top

* වටිනාකම මිලියන 2945 ක්

* සැකකරුවන් දෙදෙනෙක්

* කි.ග්‍රෑම් 294ක් පැකට් 272ක

මෙතෙක් ශ්‍රී ලංකාවේදී අත්අඩංගුවට ගනු ලැබූ විශාලතම මත්ද්‍රව්‍ය තොගය පෙරේදා පස්වරුවේ කොල්ලුපිටිය ප්‍රදේශයේදී විශේෂ කාර්ය බළකාය සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය කරනු ලැබූ ඒකාබද්ධ මෙහෙයුමකින් සැකකරුවන් දෙදෙනකු සමඟ අත්අඩංගුවට ගැනීමට හැකිවී තිබේ.ජාවාරම් කිරීම සඳහා වෑන් රථයකින් කොල්ලුපිටිය ප්‍රදේශයේ වෙළෙඳ සංකීර්ණයේ රථගාල වෙත ගෙන ගොස් තිබූ රුපියල් මිලියන 2945 ක් වටිනාකමින් යුත් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 294 ග්‍රෑම් 490 ක් වූ මෙම මත්ද්‍රව්‍ය තොගය පැකට් 272 කින් සමන්විත වේ.

එම සුපිරි වෙළෙඳ සංකීර්ණයේ රථගාල වෙත ගෙනවිත් තිබූ වෑන් රථ දෙකක් තුළ විශාල ප්‍රමාණයේ මලු පහක අඩංගු කුඩා මලු 10 ක ප්‍රමාණයක එම හෙරොයින් තොගය බහා තිබූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි නීතිඥ රුවන් ගුණසේකර මහතා පැවැසීය.

මෙම හෙරොයින් තොගය අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ඊයේ පෙරවරු 8.00ට පමණ පොලිස් මත්ද්‍රව්‍ය නාශක මූලස්ථානයේ මාධ්‍ය සාකච්ඡාවක් පැවතුණි. එහිදී පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ මෙතෙක් මෙරට ඉතිහාසයේ අත්අඩංගුවට ගනු ලැබූ වැඩිම වටිනාකමකින් යුත් හෙරොයින් තොගය මෙය බවයි. පාකිස්තානය, ඇෆ්ගනිස්ථානය, ඉන්දියාව වැනි මත්කුඩු ජාවාරමේ ප්‍රබල ලෙස නිරතව සිටින රටවල්වලින් අල්ලා ගන්නා හෙරොයින් තොග හැරුණුවිට ආසියාවෙන් අල්ලා ගත් විශාලතම හෙරොයින් තොගය මෙය බව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශ තොරතුරු අනාවරණය කරයි.

ජ‍ාවාරම් කිරීම සඳහා එම සුපිරි වෙළෙඳ මධ්‍යස්ථානය වෙත ගෙනවිත් එම රථගාලේදී තවත් වාහන කිහිපයකට බාරදීමට සූදානම් කර තිබූ එම හෙරොයින් තොගය මහා පරිමාණයෙන් ජාත්‍යන්තරව සිට මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවන ප්‍රධාන ජාවාරම්කරුවකුගේ හෙරොයින් බෙදාහැරීමේ කොටසක් වන අතර මෙම මත්ද්‍රව්‍ය තොගය එම ස්ථානයට ගෙන එන ලද ගොඩනැගිලි ව්‍යාපාරිකයකු ලෙස පෙනී සිටි කෝටිපති ව්‍යාපාරිකයකු සහ ඔහුගේ රියැදුරු වන සැකකරුවන් දෙදෙනා එම ජාවාරමේ කොටස්කරුවන් බවයි.

පානදුර සරික්කන්මුල්ල ගම්මැද්ද පාර අංක 27 නිවසේ පදිංචි 43 හැවිරිදි මොහොමඩ් බසීර් ‍ෙමාහොමඩ් අජ්මීර් සහ පානදුර කෙසෙල්වත්ත යෝනක පාර ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි මොහොමඩ් වෙලා අහමඩ් කුස්මි යන දෙදෙනා අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවෝ වෙති.

අත්අඩංගුවට ගැනීමෙන් පසු පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය වෙත ගෙන යනු ලැබූ මෙම සැකකරුවන් දෙදෙනාගෙන් ප්‍රශ්න කිරීමේදී එම ජාවාරම පිටුපස සිටින කිහිපදෙනකුගේම තොරතුරු හෙළිදරව් කර ඇති අතර තවත් තොරතුරු ලබාගැනීම සඳහා එම සැකකරුවන් ඊයේ (24) දින කොටුව මහේස්ත්‍රාත් වෙත ඉදිරිපත් කර රැඳවුම් නියෝග ලබාගැනීමට කටයුතු කර ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.

වයස අවුරුදු 31 පමණ වන ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවි සැල් හිමිකරු පානදුර කෙසෙල්වත්තේ පදිංචිකරුවෙකි. මොහොමඩ් රිලා අහමඩ් රුක්සි නැමැති එම ව්‍යාපාරිකයා පානදුර තොටවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව පොලිසිය සඳහන් කරයි. මේසා විශාල මත්ද්‍රව්‍ය තොගයක් සමග අත්අඩංගුවට පත්වන තුරු ඔහු මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටින්නෙක් බව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය පවා දැන සිට නැත. ඉතා සූක්ෂම ලෙස ඔහු මෙම ජාවාරම මෙහෙයවා ඇති අතර කුළියට ගන්නා මෝටර් රථ සහ වෑන් රථවලින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන බව හෙළිවී තිබේ.

ඔහු මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන විට පොලිසියේ පරීක්ෂාවලින් බේරීමටත් සැකයක් ඇති නොවන ලෙසත් සිය සිව් (04) හැවිරදි දරුවාද වාහනවල රැගෙන යන බව හෙළිවී තිබේ. කොල්ලුපිටියේ සුපිරි සාප්පු සංකීර්ණ රථ ගාලට ඔහු පදවාගෙන පැමිණි කුඩා වෑන් රථයේද සිව් හැවිරිදි දරුවා සිට ඇත. එම දරුවා මවට භාරදෙන්නට පොලිසිය පියවර ගෙන තිබේ. ඔහු එක් වාහනයක් පදවාගෙන සුපිරි රථ ගාලට පැමිණ ඇති අතර අනෙත් වාහනය පදවාගෙන පැමිණි ඇත්තේ ඔහුගේ රියදුරාය.

රථ ගාලට මත්කුඩු සමග රැගෙන එන වෑන් රථය යතුරත් සමග දමා ගිය පසු ඒවා ගැණුම්කරුවන් විසින් රැගෙන යන බව අත්අඩංගුවට ගත් රුක්සි පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේදි පවසා ඇත. මේ ජාවාරම ඩුබායි සිට සිය මස්සිනා විසින් මෙහෙයවන බවද ඔහු පවසා තිබේ. තමන්ට නියමිතව ඇත්තේ ඔහු ඩුබායි සිට ලබාදෙන උපදෙස් මත වාහන සුපිරි වෙළඳ සංකීර්ණ ආශ්‍රිත රථගාල්වලට ගොස් මත්කුඩු සමග අතහැර යාම බවත් එම වාහනය රැගෙන යන්නේ කවුදැයි දන්නේ ඩුබායි සිටින සිය මස්සිනා බවත් ප්‍රශ්න කිරීම් හමුවේ රුක්සි පවසා ඇත. එසේ පසුගිය මාස දෙකක කාලය තුළ පමණක් හොරොයින් කිලෝ 100 සහ 50 බැගින් මෝටර් රථවල රැගෙන ගොස් රථගාල් 15 ක වාහන පහලොවක් අතහැර ගිය බවද ඔහු හෙළිකර තිබේ. එසේ මත්කුඩු සමග මෝටර් රථ අතහැරදමා ගොස් තිබෙන්නේ කොළඹ සහ ඒ අවට සුපිරි වෙළඳ සැල් රථගාල් වලය. ඒ සියළුම මෝටර් රථ කුළී පදනමට ගත් ඒවා බවද ඔහු පවසා ඇත.

ඩුබායි සිට මෙම මත්කුඩු ජාවාරම මෙහෙයවන රුක්සිගේ මස්සිනා රහීම් නැමැති අයෙකි. ඔහු සමග මෙම ජාවාරමට සම්බන්ධව සිටින මහමොලකරුවන් ලෙස හඳුනාගෙන සිටින්නේ මොරිල් නැමැත්තාය. මාකදුරේ මාකදුරේ මධුෂ් අත්අඩංගුවට ගන්නට ඩුබායි පොලිසියට මධුෂ්ගේ සාදය ගැන තොරතුරු ලබාදුන්නේ යැයි කියැවෙන්නේ මොරිල්ය. මධූෂ්ගේ ගෝලයින්ගෙන් එල්ලවන ජීවිත තර්ජන හේතුවෙන් ඔහු මේ වන විට ඩුබායි සිට එංගලන්තයට පළාගොස් සැගවී සිටින බව සඳහන්ය.

රහීම් සහ මොරිල්ගේ මෙහෙයැවීමෙන් පකිස්තානයේ සිට මුහුදු මාර්ග ඔස්සේ බහුදින යාත්‍රාවල සඟවා අලුත්ගම බේරුවල හික්කඩුව මිරිස්ස ඇතුළු දකුණූ මුහුදුතීරයට හොරොයින් රැගෙන එන බවත් ඒවා කොළඹ සහ ඒ අවට ආරක්ෂක ස්ථානවල ඔවුන් ගබඩාකර තබන බවටත් පොලිසියට තොරතුරු ලැබී තිබේ. මෙවර හසුවූ හෙරොයින් තොගය අලුත්ගම සිට රැගෙනවිත් ඇති බවට සැකකරන තොරතුරු මේ වන විටත් ලැබී ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය. එම හෙරොයින් තොග ගබඩා කෙරෙන කොළඹ මට්ටක්කුලියේ පිහිටි ගබඩාවක් සම්බන්ධයෙන් ද තොරතුරු බුද්ධි අංශ වෙත ලැබී තිබේ. පාකිස්තානයේ සිට ආහාර ද්‍රව්‍ය සහ යන්ත්‍ර සූත්‍ර ගෙන එන ලබන කන්ටේනර්වල ද සඟවා හෙරොයින් රැගෙන එන බවට ද තොරතුරු හෙළිවී ඇත.

කිලෝ 294 ක් වූ මෙම හෙරොයින් තොගය වැටලීමට ඔත්තුව ලැබෙන්නේ පොලිස් විශේෂ කාර්ය බලකායේ බුද්ධි අංශයටය. සුපිරි සාප්පු සංකීර්ණයේ රථගාලට පැමි‍ණෙන කුඩා වෑන් රථ දෙකක හෙරොයින් තොගයක් ඇති බවට එකී ඔත්තුවෙන් කියැවී තිබේ. එම වාහන දෙකෙහි අංක පවා බුද්ධි අංශයට ලැබී තිබී ඇත.

පසුගිය දෙසැම්බර් 31 වෙනිදා ගල්කිස්සේ සුපිරි තට්ටු නිවාස සංකීර්ණයක නිවසකින් සහ කව්ඩානේ කුළී නිවසකින් හෙරොයින් කිලෝ 279 ක් සමග බංග්ලාදේශ ජාතිකයන් දෙදෙනෙක් අත්අත්අඩංගුවට ගැනීමට මුල්වූයේද පොලිස් විශේෂ කාර්ය බලකා බුද්ධි අංශයයි. ඊට පෙර දෙසැම්බර් 05 වෙනිදා බේරුවලින් හෙරොයින් කිලෝ 231 ක්ද එම බුද්ධි අංශයේම මෙහෙයුමකින් අල්ලා ගත්තේය.

ශ්‍රී ලංකාවේ සිට සීසෙල්ස් දිවයින වෙත බෝට්ටු මගින් හෙරොයින් රැගෙන යන බව හෙළිවන්නේ එම වැටලීමේදීය. මෙම වසරේ ජනවාරි 22 වෙනිදා ද විශේෂ කාර්ය බලකායේ බුද්ධි අංශයට ලද තොරතුරකට අනුව කොල්ලුපිටියේ සුපිරි තට්ටු නිවාස සංකීරණයකින් හෙරොයින් කිලෝ 97 ක් සමග ඇමරිකානුවන් දෙදෙනෙක්, අෆ්ගනිස්ථානුවෙක්, තුර්කි ජාතිකයින් සිව් දෙනෙක් ඇතුළු 09 දෙනෙක් අත්අඩංගුවට ගත්තේය.

ඊට අමතරව කිලෝ තුන හතර බැගින් ද ගෙවීගිය මාස තුනක කාලය තුළ විශේෂ කාර්ය බලකා බුද්ධි අංශයේ තොරතුරුවලට අනුව හෙරොයින් වැටලීම් කර තිබේ. විශේෂ කාර්ය බලකා තොරතුරු අනාවරණය කරන ආකාරයට අනුව ගෙවී ගිය මාස තුනක කාලය තුළදී පමණක් හෙරොයින් කිලෝ 900 කට වැඩි ප්‍රමාණයක් විශේෂ කාර්ය බලකායේ බුද්ධි තොරතුරුවලට අනුව අත්අඩංගුවට ගැනීමට හැකිවී තිබේ.

තවද මෙම ජාවාරමට සම්බන්ධ සියලුම සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ තවදුරටත් සිදුවෙමින් පවතී.

උපුටා ගැනීම දිනමිණ පුවත් පත ඇසුරෙනි

More News »