අගවිනිසුරු-විනිසුරු පත්කිරීම ගැන මගේ විරෝධයක් නෑ

Feb 22, 2019 10.09am
feature-top
විනිසුරුවරුන් 14කට උසස්වීම් නොදීමට හේතු දැක්විය යුතුව තිබුණා

අගවිනිසුරුවරයා ඇතුළු විනිශ්චයකාරවරුන් පත්කිරීම පිළිබඳ තමන් කිසිදු විවේචනයක් විරෝධයක් නොකළ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (21) පාර්ලිමේන්තුවේදී පැවසීය. ව්‍යවස්ථාදායක සභාව ඉහළ විනිසුරුවරුන් පත්කිරීම නොව ප්‍රතික්ෂේප කළ විනිසුරුවන් 14 දෙනාට උසස්වීම් නොදීමට හේතු වූ නිර්දේශ ඉදිරිපත් කිරීම කළ යුතුව තිබූ බව ද ජනාධිපතිවරයා පැවසීය.

ව්‍යවස්ථාදායක සභාව පිළිබඳ පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා ඉදිරිපත් කළ කල්තැබීමේ යෝජනා විවාදයට එක්වෙමින් ජනාධිපතිවරයා එසේ පැවසීය.

ව්‍යවස්ථාදායක සභාවේ සභාපති කතානායක කරු ජයසූරිය මහතාව හෝ වෙනයම් පාර්ශ්වයක් ‍විවේචනය කිරීමක් සිදු නොකරන බව පැවසූ ජනාධිපතිවරයා ව්‍යවස්ථාදායක සභාව නිසි මඟට ගැනීමේ නීතිමය හා සදාචාරාත්මක අයිතිය තහවුරු කරමින් වැරැදි නිවැරැදි කිරීමට අදහස් දක්වන බව ද ජනාධිපතිවරයා පැවසීය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙසේ ද පැවසීය.

මේ ව්‍යවස්ථාදායක සභා පත්කිරීම් පිළිබඳව මා දරන ස්ථාවරය පිළිබඳ වැරදි මත ඇතැම් මන්ත්‍රීවරුන් ප්‍රකාශයට පත්කර තිබෙනවා. එම සියල්ල මා ප්‍රතික්ෂේප කරනවා. ශ්‍රේෂ්ඨාධිකරණයට, අභියාචනාධිකරණයට කළ පත්කිරීම් පිළිබඳ මගේ කිසිදු විරෝධයක්, විවේචනයක් නෑ. අධිකරණය කෙරෙහි මා දරන මතය පිළිබඳ වැරදි චිත්‍රයක් ඒ තුළින් මතුකරන්න ඇතැම් අය උත්සාහ ගත්තා. 2015 ජනාධිපතිවරණයේදී මැතිවරණ ප්‍රකාශයක් ඉදිරිපත් කළා. එහි අත්සන් කළ අය ඔබට මතක ඇති. දේශපාලන පක්ෂ ඇතුළු සංවිධාන 43 ක් ඊට අත්සන් කළා. යහපාලන සංකල්පය හා ඊට අදාළ කරුණු ඒ ප්‍රකාශයට ඇතුළත් කළා. ඒ මැතිවරණ පොරොන්දු ඉෂ්ට කරමින් 19 වන සංශෝධනය ගෙනාවා. මා දිවුරුම් දුන් මොහොතේ රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ලෙස දිවුරුම් දුන්නා. ජනාධිපති වී සති තුනකින් පසු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරය මට ලැබුණා.

ආණ්ඩුව, විපක්ෂය නොසලකා වැඩ කරන්න පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ සහාය මට ලැබුණා. ඒ තුළ 19 සංශෝධනයට මන්ත්‍රීවරු 215ක කැමත්ත ලැබුණා. එය මැතිවරණ එකඟතාවක්, පොරොන්දුවක්, 19 වන සංශෝධනය දින දෙකක් පාර්ලිමේන්තුවේ විවාද කළා. චමල් රාජපක්ෂ කතානායක ධුරයේ සිට එකඟ වී තිබුණේ දින එකහමාරක විවාදයක් කරන්නයි. අප්‍රේල් 27, 28 දෙදින මා පාර්ලිමේන්තු සංකීර්ණයේ හිටියා. 19 වන සංශෝධනය මා විසින් බිහිකළ සුජාත දරුවෙක්. අතිජාත සුජාත දරුවෙක් යහ පාලනය උදෙසා බිහි කළා. ආපු සම්පූර්ණ ප්‍රශ්නවලට මුහුණදීම ගැන විජේදාස රාජපක්ෂ මහතාට ස්තුති ‍වෙනවා.



උපුටා ගැනීම දිනමිණ පුවත් පත ඇසුරෙනි

More News »