දුගීබව පිටු දකින ජනපති වැඩපිළිවෙළ ප්‍රශංසනීයයි

Feb 18, 2019 09.26am
feature-top
දිවයිනට පැමිණ සිටින ලෝක බැංකුවේ දකුණු ආසියානු කලාපය භාර උප සභාපති ආචාර්ය Hartwig Schafer මහතා පසුගිය 15දා පස්වරුවේ ජනාධිපති නිල නිවසේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවිය. ලෝක බැංකුවේ ශ්‍රී ලංකා නියෝජිතවරිය සහ ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න, ජනාධිපති ආර්ථීක කටයුතු උපදේශක ආචාර්ය සරත් රාජපතිරණ, ජාතික ආර්ථීක සභාවේ මහලේකම් මහාචාර්ය ලලිත් සමරකෝන් යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ. ඡායාරූපය : නිශංක ද සිල්වා - ජනාධිපති මාධ්‍ය අංශය

ලෝක බැංකු ද. ආසියා උප සභාපති

දුගීභාවය පිටුදැකීමේ ජනපතිගේ වැඩපිළිවෙළ ප්‍රශංසනීය බව ලෝක බැංකුවේ දකුණු ආසියානු කලාපය සඳහා වූ උප සභාපතිවරයා පවසයි. දුගීභාවය පිටුදැකීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගෙන යන වැඩපිළිවෙළත් සමග ශ්‍රී ලංකාවේ ග්‍රාමීය ජනතාව අතර දුගී භාවය සාධනීය ලෙස පහළ අගයක් ගනිමින් තිබෙන බව ලෝක බැංකුවේ දකුණු ආසියානු කලාපය සඳහා වූ උප සභාපති ආචාර්ය හාට්වින් ෂාෆර් (Hartwing Schafer) මහතා පවසයි.

දිවයිනට පැමිණ සිටින ලෝක බැංකුවේ උප සභාපතිවරයා පසුගියදා (15) පස්වරුවේ ජනාධිපති නිල නිවසේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමු වූ අවස්ථාවේ දී මේ බව ප්‍රකාශ කළේය.

අද ශ්‍රී ලංකාව ක්‍රමවත් ලෙස දියුණුව කරා පියමනින රටක් ලෙස ලෝක බැංකුව විසින් හඳුනාගෙන තිබෙන බව සඳහන් කළ උප සභාපතිවරයා ඒකපුද්ගල ආදායම මේ වන විට ඩොලර් 4000ක් බවට පත්ව තිබීම ද ඉතා සතුටුදායක තත්ත්වයක් බව කියා සිටියේය. ග්‍රාමීය වශයෙන් දිළිදු බව තුරන් කරමින් ජනතාව ආර්ථික වශයෙන් සවිබල ගැන්වීමට ක්‍රියාත්මක කර ඇති විශේෂ ව්‍යාපෘති ඒ උදෙසා මහඟු පිටිවහලක් වී තිබෙන බව ද ඒ මහතා සඳහන් කළේය.

මේ අතර ශ්‍රී ලංකාවේ වැව් ප්‍රතිසංස්කරණ සහ පුළුල් වාරිමාර්ග සංවර්ධන වැඩපිළිවෙළක් සඳහා සහය ලබාදෙන ලෙස ජනාධිපතිතුමා කළ ඉල්ලීමට ද මෙහි දී උප සභාපතිවරයාගේ එකඟතාව පළ කෙරිණි. වැව් දස දහසක් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය යටතේ වැව් 2400ක ප්‍රතිසංස්කරණ කටයුතු මේ වන විට රජය අරඹා ඇති බව ජනාධිපතිවරයා සඳහන් කළේය.

එමෙන් ම දේශගුණික හා කාලගුණික විපර්යාස හේතුවෙන් වන බලපෑම් අවම කර ගැනීමේ ව්‍යාපෘති සඳහා ලෝක බැංකුව ශ්‍රී ලංකාවට ලබාදෙන අඛණ්ඩ සහයට ද ජනාධිපතිවරයා සිය ස්තූතිය පිරිනැමීය.

ජල ගැල්මට ගොදුරු වන ප්‍රදේශවල සිට නිකරුණේ මහ මුහුදුට ගලා යන එම ජල කඳ නළ මාර්ගයෙන් වියළි කලාප වෙත රැගෙන යාමේ ව්‍යාපෘතියක් සඳහා සහය ලබාදෙන ලෙස ජනාධිපතිතුමා කළ ඉල්ලීම පිළිබඳව ද විශේෂ අවධානය යොමු කළ උප සභාපතිවරයා එම ඉල්ලීම ඉටුකිරීමේ හැකියාව පිළිබඳව කඩිනමින් සොයා බලන බවට ජනාධිපතිවරයා වෙත සහතික විය.

ශ්‍රී ලංකාවේ නීල හරිත කෘෂිකර්ම හා පරිසර ව්‍යාපෘති සඳහා ලබාදිය හැකි ආධාර පිළිබඳව ද මෙහි දී සාකච්ඡාවට ලක් කෙරුණු අතර කැළණි ගඟ ඉවුරු ශක්තිමත් කිරීම තුළින් කැළණි ගඟ අවට ප්‍රදේශවල ඇතිවන ගංවතුර පාලනය සඳහා ලෝක බැංකු අධාර යටතේ විශේෂ ව්‍යාපෘතියක් මේ වන විට ක්‍රියාවට නංවා තිබෙන අතර එම ව්‍යාපෘතිය තවදුරටත් පුළුල් කිරීමට අවශ්‍ය සහය ලබාදෙන බව ද උප සභාපතිවරයා ප්‍රකාශ කළේය.

මෙහි දී අදහස් දැක්වූ ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේ ලෝක බැංකුව විසින් ලබාදෙන සියලූ ආධාර දූෂණයෙන් සහ අක්‍රමිකතාවයෙන් තොරව විධිමත් අයුරින් අදාළ සංවර්ධන කටයුතු සඳහා අයෝජනය කරන බවට පැහැදිළි සහතිකයක් තමාට ලබා දිය හැකි බවයි.

ලෝක බැංකුවේ ශ්‍රී ලංකා නියෝජිතවරිය සහ ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න, ජනාධිපති ආර්ථික කටයුතු උපදේශක ආචාර්ය සරත් රාජපතිරණ, ජාතික ආර්ථික සභාවේ මහලේකම් මහාචාර්ය ලලිත් සමරකෝන් යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.



උපුටා ගැනීම දිනමිණ පුවත් පත ඇසුරෙනි

More News »