මතට-පාතාලයට නිදහසේ ජාවාරමට ඉහළ පෙළේ සහාය

Feb 18, 2019 09.25am
feature-top
මත්කුඩු ජාවාරම්කරුවන්, පාතාලය සහ සංවිධානාත්මක අපරාධ ඇතුළු විවිධ ආකාරයේ ජාවාරම්වල යෙදෙන අපරාධකරුවන්ට එම ජාවාරම් නිදහසේ කරගෙනයාමට ඉඩකඩ සලසාදුන් බවට සැකකරන පොලිසියේ සහ විවිධ තරාතිරම්වල පුද්ගලයන් විශාල පිරිසක් සම්බන්ධයෙන් බුද්ධි අංශවලට තොරතුරු ලැබී තිබේ.

මේ පිරිස අතර විශේෂයෙන් දේශපාලනඥයන් සහ ඉහළ පෙළේ ව්‍යාපාරිකයන්ගෙන්ද සහයෝගය ලැබී ඇති බවට එම තොරතුරුවලින් තවදුරටත් තහවුරු කෙරේ.

මෙරට මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම ජාත්‍යන්තර සබඳතාද ඔස්සේ නිදහසේ කරගෙන යාමටත් පාතාල කල්ලි නායකයන් ඇතුළු අපරාධකරුවන්ට මෙරටින් විදෙස් රටවලට පැන ගැනීමට මෙම පුද්ගලයන්ගෙන් සහයෝගය ලැබී ඇති බවට ද තොරතුරු ලැබී තිබේ.මේ වනවිට ඩුබායිහි එරට අත්අඩංගුවේ පසුවන මධූෂ් ඇතුළු සෙසු ජාවාරම්කරුවන් විශාල පිරිසකට මෙරටින් එම රටවලට පැන ගැනීමට අවස්ථාව සලසාදී ඇත්තේද එම සමීපතම හිතවතුන් බවටද බුද්ධි අංශ මෙන්ම ඔත්තුකරුවන්ටද තොරතුරු ලැබී ඇත.

එසේ අත්අඩංගුවේ පසුවන පිරිස අතරින් සියයට අනූවක් පමණ මෙරටින් පැනගෙන ඇත්තේ ව්‍යාජ විදෙස් ගමන් බලපත්‍ර හරහා බවද කියවේ. ඔවුන් එසේ ව්‍යාජ ගමන් බලපත්‍ර හරහා මෙරටින් පැනගනු ලැබ ඇත්තේ එම විදෙස් ගමන් බලපත්‍ර සකස්කිරීම, ඒවා පරික්ෂා කිරීම සහ මෙරටින් පලායාම යන අවස්ථා කිහිපයක් යටතේය.

එම අවස්ථාවලදී ඒවා නිසි පරීක්ෂාවකට ලක්නොකිරීම ඔවුන්ට සහයෝගයක් වශයෙන් සිතා මතා සිදුකළාද එසේත් නොමැතිනම් එම රාජ්‍ය නිලධාරීන්ගේ දෑසට වැලි ගසා පැන ගත්තා ද යන්න සම්බන්ධයෙන්ද ඉදිරියේදී පරීක්ෂාවට ලක්වනු ඇතැයි බුද්ධි අංශ නිලධාරීහු පැවසූහ.

මාකඳුරේ මධූෂ්, අංගොඩ ලොක්කා සහ තවත් පාතාල අපරාධකරුවන් ප්‍රථමයෙන්ම මෙරටින් පැනගෙන ඇත්තේ ඉන්දියාවටය. අංගොඩ ලොක්කා සහ තවත් පාතාල කල්ලි සාමාජිකයන් ඉන්දියාවෙන් ඩුබායි බලා යාමට සිටියදී එම ව්‍යාජ ගමන් බලපත්‍ර එරට පොලිසියට හසුවී තිබුණි.

පසුගිය කාලයේ එක්තරා පාතාල කල්ලි නායකයෙක් අත්අඩංගුවට පත්වූ අවස්ථාවේ ඔහු බේරාගැනීමට ඉදිරිපත්වූ දේශපාලනඥයෙකු එවකට ඔහු අත්අඩංගුවට ගත් නියෝජ්‍ය පොලිස්පතිවරයාගෙන් සැකකරු නිදහස් කරන ලෙසත් නැතහොත් ඔහු කටුනායක ගුවන්තොටුපළ දක්වා ගෙන යන තෙක් ඊට අවස්ථාව සලසා දෙන ලෙසට ඉල්ලා තිබුණි. එහෙත් එම පොලිස් නිලධාරියා ඊට තදින්ම සිය අකමැත්ත ප්‍රකාශ කර තිබුණි.

තවද මත්කුඩු සහ මත්ද්‍රව්‍යද, මත්පැන් ඇතුළු තවත් දෑ වැටලීමට සූදානම්ව පොලිස් කණ්ඩායම් එම මෙහෙයුමට යොමුවන අවස්ථාවලදීත් අදාළ අපරාධකරුවන් දැනුවත්කර ඔවුන්ට පලායාමට ඔත්තු සපයන පොලිසියේ ඇතැම් නිලධාරීන් කටයුතු කර ඇති බවද පැවසේ.

පොලිසිය පමණක් නොව බන්ධනාගාරය, රේගුව යන ආයතනවලද ඇතැම් නිලධාරීන් අපරාධකරුවන්ට සහ‍යෝගය දී ඔවුන්ව ආරක්ෂා කිරීමත් ඔවුන්ට පැනයාමට අවස්ථාව සැලසීමත් සඳහා ඔවුන්ගෙන් විවිධ වරප්‍රසාද, මිලියන ගණන් මුදල් ලබාගෙන ඇති බවටද බුද්ධි අංශවලට තොරතුරු ලැබී ඇත. බුද්ධි අංශ මගින් එසේ සොයාගෙන ඇති තොරතුරු ඉතා කඩිනමින් අදාළ බලධාරීන් වෙත ලබාදෙන බවද කියයි.



උපුටා ගැනීම දිනමිණ පුවත් පත ඇසුරෙනි

More News »