කිළිනොච්චියේ වගා හානිවලට අගමැති අතින් කෝටි 20ක්

Feb 16, 2019 09.25am
feature-top
කිළිනොච්චිය දිස්ත්‍රික්කයේ ගං වතුරින් වගා හානි වූ අක්කර 9000ක් වෙනුවෙන් රුපියල් මිලියන දෙසීයක වන්දි මුදල් ප්‍රදානය අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (15) සිදු කෙරිණි. තවත් වගා හානි පිළිබඳ ඉල්ලුම් පත් භාර ගැනීම ඉදිරියටත් සිදු වන බවත් ඒ පිළිබඳ කඩිනමින් පියවර ගන්නා බවත් අගමැතිවරයා සඳහන් කළේය.

කිලිනොච්චි දිස්ත්‍රික්කය තුළ ඉලක්කගත සංවර්ධනය සිදු කරන ආකාරය සොයා බැලීමට අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කිලිනොච්චි දිසාපති කාර්යාලයේ පැවැති ප්‍රගති සමාලෝචනයෙන් අනතුරුව මේ මුදල් ලබා දීම සිදු කෙරුණි.

රජයේ ඉලක්කගත සංවර්ධනයේ වැඩපිළිවෙළ උතුරු පළාත තුළ ක්‍රියාත්මක වන ආකාරය හා ප්‍රගති සමාලෝචනය සොයා බැලීමට අගමැතිවරයා උතුරු පළාතේ සංචාරයක නිරතවී ඇති අතර, කිලිනොච්චි හා මන්නාරම දිස්ත්‍රික්කවල සංවර්ධන ප්‍රගතිය ඊයේ සොයා බැලීය.

ඉන් අනතුරුව මන්නාරම දිස්ත්‍රික්කයේ සංවර්ධන කටයුතු සොයා බැලීමට පිටත්ව ගිය රනිල් වික්‍රමසිංහ මහතා එම දිස්ත්‍රික්කයේ ප්‍රගති සමාලෝචන රැස්වීමට ද එක් විණි.

පල්ලිමුණෙයි නැවත පදිංචි කිරීමේ ගම්මානයට මුල් ගල තැබීම අගමැතිවරයා අතින් සිදු කළ අතර, ඉන් අනතුරුව මන්නාරම බස් නැවතුම් පොළේ පැවැති ජනහමුව ද අමතුවේය. මේ ජනහමුව සඳහා අති විශාල ජනකායක් එක්ව සිටියහ.

උතුරු පළාතේ සංචාරය කරන අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට උතුරු පළාතේ ජනතාවගෙන් උණුසුම් පිළිගැනීමක් ලැබිණි.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද (16) දිනයේ දී මුලතිව් දිස්ත්‍රික්කයේ සංචාරය කිරීමට ද නියමිතය.



උපුටා ගැනීම දිනමිණ පුවත් පත ඇසුරෙනි

More News »