මහවැලි ඒකකවල මතින් තොර ගම්මාන

Feb 16, 2019 09.24am
feature-top
දෙහිඅත්තකණ්ඩිය නුවරගල මහා විද්‍යාලයේ රුපියල් දෙකෝටි දස ලක්ෂයක වියදමින් ඉදිකරන ලද ද්විතීයික විද්‍යාගාරය සහ දෙමහල් ගොඩනැඟිල්ල ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් ඊයේ (15) පෙරවරුවේ විවෘත කිරීමෙන් අනතුරුව ජනාධිපතිවරයා එම විද්‍යාගාරය පිළිබඳ දරුවන්ගෙන් කරුණු විමසූ අයුරු. මේ අවස්ථාවට පොලොන්නරුව නගරාධිපති චානක සිදත් රණසිංහ, පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම් ප්‍රභාත් අත්තනායක, පරිසර අමාත්‍යාංශයේ ලේකම් අනුර දිසානායක, විදුහල්පති ලියනපතිරණගේ සමන්ත යන මහත්වරු ද සහභාගි වූහ. ඡායාරූපය නිශංක ද සිල්වා ජනාධිපති මාධ්‍ය අංශය

මහවැලි ජනපදිකයන්ගේ ගම්මානවල මතින්තොර ගම්මාන පිහිටුවන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මහවැලි බලධාරීන්ට උපදෙස් දුන්නේය.

රටට මහා විනාශයක් සිදු කරන කසිප්පු ජාවාරම මෙරටින් තුරන් කිරීමේ දැවැන්ත මෙහෙයුම ලබන සතියේ සිට ආරම්භ කරන බව ද ජනාධිපතිවරයා කියා සිටියේය. කසිප්පු තුරන් කිරීමේ සංහාරය සඳහා පොලිසිය සහ ත්‍රිවිධ හමුදාව යොදා ගනිමින් පවුල් වනසන ජන ජීවිතය විනාශ කරන කසිප්පු මෙරටින් තුරන් කිරීමේ මහා මෙහෙයුමද තමන් ආරම්භ කරන බව ද ජනාධිපතිවරයා අවධාරණය කළේය.

සැමට මහවැලි බිමේ උරුමය පිරිනමමින් සෑම මහවැලි ජනපදිකයකුටම ඉඩම් අයිතිය ලබාදීමේ ජාතික වැඩසටහන යටතේ ඉඩම් ඔප්පු දස දහසක් බෙදාදීම සහ ආහාර නිෂ්පාදන ජාතික සංග්‍රාමයේ 2018 මහවැලි ගොවි අභිෂේකය වෙනුවෙන් ත්‍යාග සහ සම්මාන ප්‍රදානෝත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (15) පෙරවරුවේ දෙහිඅත්තකණ්ඩිය, නුවරගල මහා විද්‍යාලයීය ක්‍රිඩාංගණයේ දී පැවැත්විණි. එහි දී ජනතාව අමතමින් ජනාධිපතිවරයා මෙසේ පැවැසීය.

දෙහිඅත්තකණ්ඩිය නුවරගල මහ විද්‍යාලයේ රුපියල් දෙකෝටි දශ ලක්ෂයක වියදමින් ඉදිකරන ලද ද්විතීක විද්‍යාගාරය සහ දෙමහල් ගොඩනැඟිල්ල ජනාධිපතිවරයාගේ සුරතින් විවෘත කෙරිණි. ගොඩනැඟිල්ල විවෘත කිරීමෙන් අනතුරුව ජනාධිපතිවරයා පාසල් දරුවන්ගේ ක්‍රියාකාරකම් අධීක්ෂණය කළේය.

ශ්‍රී ලංකා මහවැලි සංවර්ධන අධිකාරියේ ප්‍රදර්ශන කුටි විවෘත කළ ජනාධිපතිවරයා ඒවා නැරැඹීම ද සිදු කරන ලදී.

ශ්‍රී ලංකා මහවැලි සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ඩී. එම්. එස්. දිසානායක මහතා විසින් විශේෂ සමරු කලාපය ජනාධිපතිවරයාට පිළිගැන්වීම ද සිදු කෙරිණි.

මහවැලි ජනපදිකයන් වෙත ඉඩම් අයිතිය ලබා දෙමින් මහවැලි බී කලාපය, සී කලාපය හා රඹකැන්ඔය යන කලාපයන්හි වෙසෙන මහවැලි ජනපදිකයන් වෙත ඉඩම් ඔප්පු දස දහසක් ප්‍රදානය කිරීම සංකේතවත් කරමින් මෙහි දී ජනාධිපතිවරයා විසින් ඔප්පු ප්‍රදානය සිදු කෙරිණි.

2018 මහවැලි ගොවි අභිෂේකය වෙනුවෙන් තෝරා ගන්නා ලද හොඳම මහවැලි මහ ගොවියා, හොඳම මහවැලි ගොවි සංවිධානය, හොඳම මහවැලි කිරි ගොවියා, හොඳම මහවැලි ගෙවත්ත, හොඳම වාරි පද්ධතිය යන අංශයන්හි ත්‍යාග හා සම්මාන පිරිනැමීම ද සිදු කෙරුණේ ජනාධිපතිවරයා අතිනි.

රටම සමෘද්ධිමත් කරමින් රටට බත සපයන මහවැලි ගොවි ජනතාව වෙත තමන් දීර්ඝ කාලයක් පුරා භුක්තිවිඳින ඉඩම් කොටසේ නීත්‍යනුකූල අයිතිය ලබාදීමේ ජාතික වැඩසටහන 2016 වසරේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මඟ පෙන්වීමෙන් ආරම්භ කෙරිණි.

අදාළ ඉලක්ක කරා ළඟා වෙමින් මහවැලි කලාපය තුළ පමණක් ඉඩම් ඔප්පු එක් ලක්ෂ හැට දහසකට ආසන්න ප්‍රමාණයක් මේ වන විට බෙදා දී අවසන්ය.

මේ කලාපවල ජීවත්වන ගොවි ජනතාවගේ ආර්ථික හා මානව උපයෝගිතා අංශ දියුණු කොට එම ප්‍රදේශ සශ්‍රීක කිරීම වෙනුවෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මඟපෙන්වීමෙන් මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය වැඩසටහන් රැසක් ක්‍රියාවට නංවා තිබේ.

වැඩි දුරටත් අදහස් දැක් වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා,

ඉඩමේ ඔප්පුවක් පිළිබඳ සුසුම් හෙළමින් මහවැලි ගොවියන් වෙත තමන්ගේ ඉඩමේ අයිතිය ලබාදීමට හැකිවීම පිළිබඳ තම සතුට පළ කළ ජනාධිපතිවරයා මේ රටේ ගොවි ජනතාව ආර්ථිකය ශක්තිමත් කිරීමට ගන්නා දුක් ගැහැට ද සිහිපත් කළේය. ‍මෙරට සැම විටම දියුණු වී ඇත්තේ කෘෂිකර්මාන්තයෙන් බවත් අද මහවැලි කෘෂි සංස්කෘතියක් සේම කෘෂිකර්මාන්තයේ මහා නවෝදයක් ඇති කර ඇති බව ද කියා සිටියේය. මහවැලි ව්‍යාපාරයට නායකත්වය දුන් විශාල වැඩ කොටසක් කළ නායකයන් පිරිසක් අප රට තුළ සිටින බව ද ඔවුන්ගේ මෙහෙයන්ගෙන් ආර්ථිකයට ලබා දුන් යෝධ ශක්තිය ද සිහිපත් කළේය.

විදුලිය ලබා දීමේ ප්‍රමුඛ කාර්යයක් කර ගනිමින් පංච මහා ජලාශ බිහි වූ බවත් මහවැලි සංවර්ධන ව්‍යාපෘතියේ අවසන් මහා යෝධ ව්‍යාපෘතිය වන්නේ මොරගහකන්ද කළුගඟ ව්‍යාපෘතිය බව ද පැවැසීය.

හොඳම ගොවියා පමණක් නොව ඕනෑම ක්ෂේත්‍රයක කෙනකු කරන සේවයට පරිත්‍යාගශීලී භාවයට ගෞරව කිරීම ප්‍රශංසා කිරීම උනන්දු කිරීම තුළින් ඇගයීම කරන්නේ සම්මාන සහතික ලබා දෙන්නේ ඔහුව ඇගයීමට පමණක් නොව අනෙක් අයද උනන්දු කරවීමට බව පැවැසූ ජනාධිපතිවරයා, මේ සම්මාන ලබාදීම තුළින් මහවැලි මහා ගොවියා ඇතුළු අනෙකුත් ඇගයීම් සිදු කළේ ඔවුන්ට ගෞරවයක් මෙන්ම ඇගයීම ලබා දෙනවා සේම අනිකුත් සම්මාන නොලැබූ ගොවි ජනතාව උනන්දු කරවීමට බව ද පෙන්වා දුන්නේය.

සාම්ප්‍රදායික ක්‍රමවලින් බැහැරව නව තාක්ෂණය සමඟ මෙන්ම වෙළෙඳ පොළ පිළිබඳ මඟ පෙන්වීමක් උගත් තරුණ ගොවි පරපුරට අවශ්‍ය බව පැවැසූ ජනාධිපතිවරයා සාම්ප්‍රදායික දේ ආරක්ෂා කරනවා සේම නවීන දේ කරා යා යුතු යැයි ද පෙන්වා දුන්නේය.

වෙළෙඳ පොළ නවීන තාක්ෂණය ලබා ගත යුතු යැයි පැවැසූ ජනාධිපතිවරයා ගොවි සංවිධානවල නම හොඳ නමක් නෙමෙයි තිබෙන්නේ නම කැත කරගෙන තිබෙනවා යැයි ද තම ගිණුම්වල මෙන්ම සිදු කරන කොන්ත්‍රාත් කටයුතු පිළිබඳ ප්‍රශ්න තිබෙන බවත් ගොවි සංවිධාන පිරිසුදු මෙන්ම වංචා දූෂණයෙන් තොර එකක් විය යුතු යැයි ද එනිසා තමන් කැමැති හොඳම ගොවි සංවිධානය තේරීමට බව ද ජනාධිපතිවරයා කියා සිටියේය.

මේ රටේ දියර කිරි නිෂ්පාදනය වැඩි කළ යුතු බවත් ලෝකයේ පිටරටින් ගෙනැවිත් පිටි කිරි බොන රටවල් දහයක් පහළොවක් පමණක් ඇතැයි ද අප රට ද ඒ අතින් අවාසනාවන්ත යැයි පැවැසූ ජනාධිපතිවරයා තමා සෞඛ්‍ය ඇමැතිවරයාව සිටිය දී පිටරටින් ගෙන එන පිටි කිරිකාරයන්ට තමාගේ ගේට්ටුවෙන් ඇතුළට පැමිණීමට ඉඩ නොදුන් බව ද අවධාරණය කළේය.

දේශීය කිරි නිෂ්පාදනය තුළින් දේශීය කෘෂි කර්මාන්තය නැ‍ඟී සිටිනවා සේම සෞඛ්‍ය සම්පන්න ජනතාවකට දියර කිරි වැදත් වනවා සේම කිරි පිටි කොම්පැනිකාරයන්ට අවශ්‍ය විදියට මේ රටේ ජනතාවගේ සෞඛ්‍ය හැසිරවීමට දෙනවානම් ඉතාමත් වැරැදි යැයි ද ජනාධිපතිවරයා කියා සිටියේය.

මහවැලි ඒකකවල මතින් නිදහස් ගම්මාන සෑදීමට හැකි බව පෙන්වා දුන් ජනාධිපතිවරයා හොඳම මහවැලි මහ ගොවියා, හොඳම මහවැලි ගොවි සංවිධානය, හොඳම මහවැලි කිරි ගොවියා, හොඳම මහවැලි ගෙවත්ත, හොඳම වාරි පද්ධතියට ත්‍යාග ප්‍රදානය කරනවා සේම ඉදිරියේ දී මහවැලි මතින් නිදහස් ගම්මාන පිහිටුවන ලෙස ද අදාළ බලධාරීන්ට කියා සිටියේය.

තවත් සතියකින් දෙකකින් කසිප්පු නොමැති රටක් වැඩපිළිවෙළ ඇරැඹීම ආරම්භ කරන බවත් රටට මහත් ව්‍යසනයක් වී තිබෙන කසිප්පු ජාවාරම රටින් තුරන් කිරීමට ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය එක් කර ගනිමින් කසිප්පු සංහාරය මේ රටේ ආරම්භ කරන්නේ යැයි ද කසිප්පු පානය කර නිවෙස්වලට පැමිණ බිරියන්ට මෙන්ම දරුවන්ට කරදර හිරි හැර කරන පුද්ගලයන් ගැන තමාට වාර්තාවී ඇති බවත් පවුල්වල ආර්ථිකය එම හේතුව නිසා අගාධයකට පැමිණ ඇති බව ද කියා සිටියේය.

අලංකාරම පරිසර ගම්මානය ඇරැඹීමට කටයුතු කරන ලෙස ද, කැළි කසළ කළමනාකරණය පිළිබඳ තිබෙන නව තාක්ෂණික ක්‍රමවේදයන් හා යන්ත්‍ර සූත්‍ර හේතුවෙන් කසළ කළමනාකරණය කිරීමෙන් කිසිදු ප්‍රශ්නයක් පැන නොනැ‍ඟෙන බව පැවැසූ ජනාධිපතිවරයා තමන්ගේ කසළ ප්‍රතිචක්‍රීකරණය පිළිබඳ විරෝධතා සිදු කිරීමට තරම් හේතුවක් නොවන බව ද පෙන්වා දුන්නේය.

මේ අවස්ථාවට මහා සංඝරත්නය, අන්‍යාගමික පූජකතුමන්ලා, මැති ඇමැතිවරුන්, ආණ්ඩුකාරවරුන්, නගරාධිපතිවරුන්, ප්‍රාදේශිය සභාපතිවරුන් සහ මන්ත්‍රීවරුන් ප්‍රදේශයේ දේශපාලනඥයන්, මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ උසස් නිලධාරීන්, ප්‍රදේශයේ ජනතාව ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.

උපුටා ගැනීම දිනමිණ පුවත් පත ඇසුරෙනි

More News »