ගෝඨාභයගේ මූලික විරෝධතා ඉවතට

Feb 12, 2019 09.25am
feature-top
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් හතකට එරෙහි නඩුව විභාගයට ගැනීමට ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයට බලයක් නොමැති බවට හා අධි චෝදනා අනුව නඩුව එම අධිකරණයේ විභාගයට ගැනීමට නොහැකි බවට විත්තිකරුවන් වෙනුවෙන් ඉදිරිපත් කර තිබූ මූලික විරෝධතා දෙකම ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල විසින් ඊයේ (11) ප්‍රතික්ෂේප කරන ලදී. ඒ අනුව නඩුව ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ විභාගයට ගැනීමට තීරණය කළ ස්ථිර ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල විත්තිකරුවන්ගෙන් උත්තරවාදය විමසීම සඳහා නඩුව ලබන 22 වැනිදා යළි කැඳවීමට නියෝග කළේය.

අධිකරණ සංවිධාන පනත යටතේ පිහිටුවා ඇති මෙම ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කරනුයේ අගවිනිසුරු‍ෙග් අනුමැතිය සහ අධිකාරී බලයත් එක්ක බව විත්තිකරුවන් වෙනුවෙන් ඉදිරිපත් කළ මූලික විරෝධතා ප්‍රතික්ෂේප කරමින් ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල ප්‍රකාශ කර සිටියේය.

විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ රොමේෂ් ද සිල්වා මහතා විසින් මෙම මූලික විරෝධතා දෙක පසුගිය මස 22 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලද අතර ඒ සම්බන්ධව නියෝගය නිකුත් කිරීම විනිසුරු මඬුල්ල විසින් ඊයේ(11) ට දින නියම කර තිබුණි.

සම්පත් අබේකෝන් (සභාපති) සම්පත් විජේරත්න හා චම්පා ජානකී රාජරත්න යන මහත්ම මහත්මින්ගෙන් සැදුම්ලත් ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ මෙම නඩුව විභාගයට ගැනේ.

නන්දසේන ගෝඨාභය රාජපක්ෂ, ප්‍රසාද් හර්ෂාන්ද සිල්වා, භද්‍රා උදුලාවතී, කමලදාස, සුදම්මික කේමින්ද ආටිගල, සමන් කුමාර, ආබ්‍රහම් ගලප්පත්ති, මහින්ද සාලිය, ශ්‍රීමතී මල්ලිකා කුමාරි සේනාධීර යන විත්තිකරුවනට එරෙහිව අධිචෝදනා හතක් යටතේ නීතිපතිවරයා විසින් මෙම නඩුව පවරා ඇත.

නඩුවේ හයවන විත්තිකරු ඊයේ (11) අධිකරණය හමුවේ පෙනී නොසිටි අතර විත්තිකරු පිළිකා රෝගයක් සඳහා ‍පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබන බව ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරුන් අධිකරණයට දන්වා සිටියේය.

පසුගිය මස 22 වැනිදා විත්තිතරුවනට අධි චෝදනා පසු විවෘත අධිකරණයේදී කියවාදුන් පසුව විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ රොමේෂ් ද සිල්වා මහතා මෙම මූලික විරෝධතා දෙක අධිකරණයට ඉදිරිපත් කරන ලදී.

මෙම මූලික විරෝධතාවන් ඊයේ (11) ප්‍රතිෂේප කිරී‍ෙමන් පසුව විත්තිකරුවන්ගෙන් උත්තරවාද විමසීම මෙම මස 22 වැනිදාට කල් තැබුණි.

වීරකැටිය මැද මූලන ඩී. ඒ. රාජපක්ෂ අනුස්මරණ ස්මාරකය හා කෞතුකාගාරය ඉදිකිරී‍ෙම්දී ඉඩම් ගොඩ කිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව සතු රුපියල් ලක්ෂ තුන්සිය තිස්නවයක මුදලක් සාපරාධී සාවද්‍ය පරිහරණය කළ බවට විත්තිකරුවනට එරෙහිව නීතිපතිවරයා අධි චෝදනා නඟා ඇත.

ජනාධිපති නීතිඥවරුන් වන රොමේෂ් ද සිල්වා, අනිල් සිල්වා හා අලි සබ්රි යන මහත්වරුන් සමඟ නීතිඥවරු මඬුල්ලක් විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටියහ.

නීතිපතිවරයා වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා පෙනී සිටියේ ය.
ප්‍රමාද වී උසාවි ආවාට අවවාද

නඩු විභාගයට විනාඩි 10ක් ප්‍රමාද වී අධිකරණයට පැමිණි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට නිසි වේලාවට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල ඊයේ (11) අවවාද කළේය.

නඩුව පෙරවරු 9.30ට ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ කැඳවෙන අතර නඩුවේ පළමු විත්තිකරු වූ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා විනාඩි 10ක් ප්‍රමාදව අධිකරණයට පැමිණියේය.

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නීතිඥවරුන් අධිකරණයට දන්වා සිටියේ මාර්ග තදබදය හේතුවෙන් එම ප්‍රමාදය සිදුවූ බවයි.

නඩුව මුල් දිනයේ අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේ විනාඩි කිහිපයක් ප්‍රමාදව තමා අධිකරණයට පැමිණීම හේතුවෙන් විත්තිකරුවන් නිදහස් කරන ලෙසට විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා පවසා සිටි බව අධිකරණය දැනුවත් කරමින් පවසා සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා නිසි වෙලාවට විත්තිකරුට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට අවවාද කරන මෙන් විනිසුරු මඬුල්ලෙන් ඉල්ලා සිටියේය.

උපුටා ගැනීම දිනමිණ පුවත් පත ඇසුරෙනි

More News »