දූෂණ සහ වංචා සොයන ජනපති කොමිසම පැමිණිලි භාරගනී

Feb 09, 2019 10.16am
feature-top
2015 ජනවාරි මස 14 වැනි දින සිට 2018 දෙසැම්බර් මස 31 වැනි දින දක්වා කාලය තුළ රජයේ ආයතනවල සිදුව ඇතැයි සැලකෙන දූෂණ, වංචා පිළිබඳ සොයා බැලීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පත් කළ ජනාධිපති පරීක්ෂණ කොමිසම පැමිණිලි භාරගැනීමේ කටයුතු ආරම්භ කැර තිබේ.

2015 ජනවාරි මස 14 වැනි දින සිට 2018 දෙසැම්බර් මස 31 වැනි දින දක්වා කාලය තුළ රජයේ ආයතනවල සිදු වී ඇතැයි සැලකෙන දූෂණ ක්‍රියා, වංචා, සාපරාධී ලෙස විශ්වාසය කඩ කිරීම, දේපළ සාපරාධී ‍පරිහරණය, රැවටීම සහ බලය හෝ අධිකාරය, රාජ්‍ය සම්පත් හා වරප්‍රසාද අනිසි ලෙස භාවිතා කිරීම හෝ අවභාවිතයට එරෙහි බරපතළ චෝදනා පිළිබඳව මහජන පැමිණිලි, තොරතුරු සහ සෙසු කරුණු කැඳවීම සහ ඒවා කඩිනම් අපක්ෂපාතී, පුළුල් විමර්ශනයකට ලක්කිරීම මෙම කොමිසන් සභාවේ කාර්යභාරයයි.

එබඳු වරදවල් සම්බන්ධයෙන් නීති ප්‍රකාරව වගකිව යුතුව සිටි හෝ වගකිවයුතු වන පුද්ගලයන් හඳුනාගැනීම හා සාක්ෂි එක්රැස් කිරීම ද මෙම කොමිසන් සභාව හරහා සිදු වේ.

ඉහත එක් කරුණක් හෝ කරුණු කිහිපයකට අදාළ ඕනෑම ලිඛිත පැමිණිලි හෝ තොරතුරු සිංහල හෝ දෙමළ හෝ ඉංග්‍රීසි භාෂාවෙන් Òලේකම්, රාජ්‍ය ආයතනවල සිදුවී ඇතැයි කියන වංචා දූෂණ සොයා බැලීමේ ජනාධිපති කොමිසන් සභාව, කාමර අංක 210, බ්ලොක් 02, දෙවැනි මහල, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව, බෞද්ධාලෝක මාවත, කොළඹ 07Ó ලිපිනයට යොමු කළ හැක.

සියලු පැමිණිලි 2019 මාර්තු 07 වැනි දින හෝ එදිනට පෙර ඉදිරිපත් කළ යුතු අතර එවැනි පැමිණිලි හෝ තොරතුරු සපයන අයගේ නම සහ ලිපිනය, ජාතික හැඳුනුම්පත් අංකය හෝ ගුවන් ගමන් බලපත්‍ර අංකය සියලුම ‍ඉදිරිපත් කිරීම්වල සඳහන් විය යුතුය. තවද ඔහු හෝ ඇය සිය අනන්‍යතාවය හෙළිකිරීමට අකමැති වන්නේ නම් එසේ කිරීමට ද ඉල්ලා සිටිය හැකිය.

කොමිසන් සභාවට වාචික ඉදිරිපත් කිරීම් සිදුකිරීමට කැමති ආයතන/ පුද්ගලයන්ට 0112665382 අංකයට දුරකථන ඇමතුමක් ලබා දී 2019 මාර්තු මස 07 වැනි දින හෝ ඊට ප්‍රථම දිනයක් නියම කැර ගත හැකිය.

විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අ‍බේරත්න මහතාගේ සභාපතීත්වයෙන් යුත් මෙම විශේෂ කොමිසම ජනාධිපතිතුමා පත් කරන ලද්දේ ඉකුත් ජනවාරි 17 වැනිදායි.

කොමිසමේ පළමු අතුරු වාර්තාව මාස 3 ක් ඇතුළතත්, නිගමනයන් හා නිර්දේශයන් ඇතුළත් අවසන් වාර්තාව මාස 06 ක් ඇතුළතත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.



උපුටා ගැනීම දිනමිණ පුවත් පත ඇසුරෙනි

More News »