ත්‍රිපිටකය ජාතික උරුමයක් ලෙස අද ප්‍රකාශයට

Jan 05, 2019 10.27am
feature-top
සමස්ත ලෝ වැසි බෞද්ධ ජනතාවගේ උරුමයක් වන අති පාරිශුද්ධ ථෙරවාදී ත්‍රිපිටකය, ශ්‍රී ලංකාවේ ජාතික උරුමයක් ලෙස නිල වශයෙන් ප්‍රකාශයට පත්කිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මාතලේ අලුවිහාරයේ දී අද (05) සිදුකෙරේ.

වසර 2,300කට අධික කාලයක් බෞද්ධ භික්ෂූන් වහන්සේලා ප්‍රමුඛ ශ්‍රී ලාංකික බෞද්ධ ජනතාව විසින් ආරක්ෂා කළ ශ්‍රී ගෞතම සම්බුද්ධ දේශනාවේ මූලධර්මයන් ඇතුළත් ‘ත්‍රිපිටකය’ මෙලෙස ජාතික උරුමයක් වශයෙන් ප්‍රකාශයට පත් කිරීම සිදුකෙරෙන අතර, මේ සඳහා මහා නායක ස්වාමීන් වහන්සේලා ප්‍රමුඛ 2,000ක් මහා සංඝරත්නය, මැති ඇමැතිවරු ඇතුළු විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් හා පූර්ණ රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට කටයුතු සංවිධාන කර තිබේ. ත්‍රිපිටකය ශ්‍රී ලංකාවේ ජාතික උරුමයක් වශයෙන් ප්‍රකාශයට පත් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ ද අනුමැතිය හිමිව තිබේ.

වසර දහස් ගණනක් පුරා රැගෙන ආ නිර්මල බුදු දහම තව දුරටත් සුරක්ෂිත කරමින් අනාගත පරපුරට දායා ද කිරීම සහ ජාතික උරුමයක් වශයෙන් ප්‍රකාශයට පත් කළ ද ලෝක උරුමයක් වශයෙන් පවත්වාගෙන යෑමේ අරමුණින් මේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කර තිබෙන අතර, මහා සංඝරත්නයේ උපදෙස් හා මඟ පෙන්වීම පරිදි මෙය ක්‍රියාවට නංවයි.

තෙවැනි ධර්ම සංඝායනාවේ දී සූත්‍ර පිටකය, විනය පිටකය සහ අභිධර්ම පිටකය වශයෙන් පූර්ණත්වයට පත් ථෙරවාදී ත්‍රිපිටකය ක්‍රිස්තු පූර්ව 3 වැනි සියවසේ දී මහින්දාගමනයේ ප්‍රතිඵලයක් වශයෙන් ශ්‍රී ලංකාවට උරුම වූ අතර, මෙසේ උරුම වූ සම්බුදු දහම රාජ්‍ය ගෞරවය ලබමින් ශතවර්ෂ ගණනාවක් ශ්‍රී ලංකාවේ පෝෂණය වී තිබේ. ශ්‍රී ලාංකික මහරහතන්වහන්සේලා ප්‍රමුඛ මහා සංඝරත්නය විසින් ශත වර්ෂ ගණනාවක් පුරා විවිධ අභියෝග මැද සුරක්ෂිතව රැගෙන ආ ත්‍රිපිටකය ලෝකයේ පළමුවරට තල්පත්වල ලේඛනාරූඨ කරන ලද්දේ ක්‍රිස්තු පූර්ව පළමුවැනි සියවසේ වළගම්බා රජ සමයේ මාතලේ අලුවිහාරයේ දීය.

ඒ අනුව ත්‍රිපිටකය ක්‍රිස්තු වර්ෂ 1956 වර්ෂයේ එළැඹි 2500 වැනි ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තියේ දී විශේෂ ව්‍යාපෘතියක් ලෙස සංරක්ෂණය කර පූර්ණ ග්‍රන්ථාවලියක් ලෙස මුද්‍රණය කරන ලද අතර, බලංගොඩ ආනන්ද මෛත්‍රිය මහානායක හිමියන්ගේ අනුශාසකත්වය යටතේ ලබුගම ලංකානන්ද අනුනායක හිමියන්ගේ ප්‍රධාන සම්පාදකත්වයෙන් යුත් විද්වත් ස්වාමීන්වහන්සේලාගෙන් සමන්විත සම්පාදක මණ්ඩලයක් විසින් පූර්ණ වශයෙන් ලියා රජයේ නිල ප්‍රකාශනයක් වශයෙන් මුද්‍රණය කර ඇත.

ලොව පවතින ආගමික ග්‍රන්ථ අතර ශ්‍රී ලංකාවේ බෞද්ධ ත්‍රිපිටකයට ප්‍රධාන ස්ථානයක් හිමි වන අතර, එය ආරක්ෂා කර ගැනීමේ අරමුණින් ත්‍රිපිටකය ශ්‍රී ලංකාවේ ජාතික උරුමයක් බවට පත්කොට නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීම සිදු කරනු ලබයි. ඊට අමතරව ත්‍රිපිටකය සම්බන්ධ නැවත මුද්‍රණය හා අනෙකුත් කටයුතු සිදුවන්නේ බුද්ධශාසන අමාත්‍යාංශයේ පූර්ණ අධීක්ෂණය යටතේය.

ථෙරවාදී බුදු දහමේ ඉගැන්වීම් එකතුව ත්‍රිපිටකය ලෙස හැඳින්වේ. බුදුන් වහන්සේ ජීවත්ව සිටිය දී කළ ධර්ම දේශනා පසු කලෙක සිදු කළ ධර්ම සංගායනාවල දී පිටක තුනකට වෙන් කළ බැවින් ත්‍රිපිටක නම ලැබී තිබෙන අතර, පසුකාලීනව ත්‍රිපිටකයට අට්ඨකථා මඟින් අතිරේක කරුණු හා විස්තර කිරීම් සිදුකර ඇත. ඒ අනුව විනය පිටකය, සූත්‍ර පිටකය (සුත්ත නොහොත් සුක්ත) සහ අභිධම්ම පිටකය (අභිධර්ම) ලෙස මෙය වෙන්කර තිබේ.

මේ සඳහා පූජෝපහාරයක් වශයෙන් සෑම නිවෙසකම බෞද්ධ කොඩිය ඔසවා තබන ලෙස රජය ඉල්ලීමක් කරයි.

උපුටා ගැනීම දිනමිණ පුවත් පත ඇසුරෙනි

More News »