මාතෘ භූමිය වෙනුවෙන් සහෝදරත්වයෙන් බැඳෙමු

Jan 01, 2019 09.50am
feature-top
මාතෘ භූමිය වෙනුවෙන් වූ උතුම් පරමාර්ථ ඉෂ්ඨ කර ගැනිම සඳහා සියලුදෙනාම එක් ව සාමුහිකත්වයෙන්, සහෝදරත්වයෙන් හා බැඳීමකින් කටයුතු කිරීමට එක් වන ලෙස උදාවන නව වසරට සුබ පතමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් කියා සිටියේය.

එම විශේෂ ප්‍රකාශය මෙසේය.

විශේෂයෙන් ම ගෙවී ගිය වසරේ අත්දැකීම් සහිතව ලබන 2019 නව වසර මුළු රටට, ලක්වාසි ජනතාවට, ඔබෙත් මගෙත් ආදරණීය මාතෘ භූමියට වඩා වාසනාවන්ත වූත්, සුබවාදී වූත්, නව වසරක් වේවා කියා මා සුබපතනවා, ආශිර්වාද කරනවා. ඒ වගේම ඉතාම ගෞරවයෙන් මම ඔබට ආරාධනා කරනවා, ඔබෙත්, මගෙත් මාතෘ භූමිය වෙනුවෙන් වූ උතුම් පරමාර්ථ ඉෂ්ඨ කර ගැනිම සඳහා සියලුදෙනාම එක් ව සාමුහිකත්වයෙන්, සහෝදරත්වයෙන් හා බැඳීමකින් කටයුතු කිරීමට එක් වන ලෙස.

අපි රටක් විදියට කටයුතු කිරීමේ දී අද තිබෙන දේශපාලන, ආර්ථික හා සමාජමය ප්‍රශ්නවල දී මූලික වශයෙන් අපේ වගකීම් සහ යුතුකම් මෙන් ම අපට තිබෙන්නා වූ අභියෝග ද, අප විසින් තේරුම් ගැනීම ඉතාම අවශ්‍ය වූ දෙයක්. මුළු ලෝකයම පිළිගත් නව විද්‍යාත්මක ක්‍රමවේදයන් සහ සැලසුම් සමඟ ක්‍රියාත්මක වන තිරසර සංවර්ධන ඉලක්ක සම්පූර්ණ කර ගැනීම සඳහා 2019 වසරේ අප සියලුදෙනාම කටයුතු කිරීමේ වැදගත්කම ඔබ අප කවුරුත් දන්නවා. දුගී බවින් නිදහස්ව, වඩාත් සමෘද්ධිමත් ආර්ථිකයක් ඇති කර ගැනීම සඳහා ඒ වගේම පරිසර සංරක්ෂණය ප්‍රමුඛ ස්වාභාවික සම්පත් ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් තිරසර සංවර්ධන ප්‍රතිපත්තිය, තිරසර සංවර්ධන ජාතික වැඩසටහන සාර්ථක කර ගැනීමට ලබන 2019 වසරේ ඔබ සියලුදෙනාගේම සහයෝගය, අනුග්‍රහය සහ සහභාගිත්වය මා ඉතාම ගෞරවයෙන් බලාපොරොත්තු වෙනවා.

පසුගිය වසර කිහිපය තුළ අපි රටක් වශයෙන් ක්‍රියාත්මක කරන ලද තිරසර සංවර්ධන ඉලක්ක සම්පූර්ණ කර ගැනීමේ දී ග්‍රාමශක්ති ජාතික ව්‍යාපාරය වඩාත් පුළුල් වූ ප්‍රගතියක් පෙන්නුම් කරන වැඩසටහනක්. ඒ නිසා දුගී බවින් නිදහස් වීමට ග්‍රාමශක්ති ජාතික ව්‍යාපාරයට ඔබේ සම්පූර්ණ සහයෝගය මා ඉතාමත් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා වගේම අපි පසුගිය වසරවල ආරම්භ කරන ලද, දරුවන් සුරකිමු, ජාතික වැඩසටහන කායිකව සහ මානසික නිරෝගී අනාගත පරපුරක් ගොඩනැංවීම වෙනුවෙන් ඔබ සැමගේ සහයෙන් ක්‍රියාත්මක වෙනවා.

අධ්‍යාපන ක්ෂේත්‍රය ගත්තොත් අපේ රටේ ගුරුවරයාගේ කාර්යභාරය, ඒ වගේම සමස්ත රාජ්‍ය සේවයේ වගකීම් සහ යුතුකම්, ගොවි ජනතාව ප්‍රමුඛ නිෂ්පාදන ක්‍රියාවලියේ යෙදී සිටින සියලුම කම්කරු ජනතාවගේ වගකීම් සහ යුතුකම් මෙන්ම නව ලෝකයක් දිනා ගැනීමට වෙර දරන උගත් තරුණ පරපුර සම්බන්ධ කොටගත් ඒකාබද්ධ වු ජාතික වැඩසටහනක වැදගත්කම මා දකිනවා. ඒ නිසා අපි සෑමවිටම සමාජ අසාධාරණයට, සාධාරණයත්, අවිනීතකම සඳහා විනීතභාවයත්, අසුබවාදී දේට සුබවාදීවත්, අවිචාරවත් බවට විචාරවත්, බුද්ධිමත්භාවයත්, ඒ වගේම අමනුෂ්‍ය ගති පැවතුම්වලට මනුෂ්‍යත්වයත්, වෛරයට ආදරය, දයාව සහ සෙනෙහසිනත් ප්‍රතිචාර දැක්වීම අපේ ක්‍රියාකාරිත්වයෙන් පිළිබිඹු කළයුතු වෙනවා.

ඒ වගේම ලබන නව වසර වඩාත් අර්ථවත්, සුබවාදි, වාසනාවන්ත, සුන්දර වූ වර්ෂයක් ලෙස ඔබටත්, රටටත්, මුළු ලක්වාසි ජනතාවටත් වඩාත් ප්‍රතිඵලදායක වසරක් වේවා කියලා මම සුබ පතන අතර, ආශිර්වාද කරන අතර, රාජ්‍ය පාලනයේ දී රටේ සංවර්ධනයේ දී ප්‍රබල අභියෝගයක්ව තිබෙන්නා වූ දූෂණයට විරුද්ධව ගෙන යන පුළුල් ජාතික වැඩසටහනේ දී 2019 වර්ෂය දූෂණයට විරුද්ධ වසරක් වශයෙන් ක්‍රියාත්මක කරන පුළුල් වැඩසටහන්වලට ඔබ සෑම කෙනෙක්ගේ ම සහයෝගය මා ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිනවා.

අපි වැඩකරන විට අපට ලැබෙන ගෞරවය වගේම, නින්දා අපහාස සියල්ල ද අප විසින් විඳ දරාගත යුතු වෙනවා. බෞද්ධයන් විදියට, ලාභෝ- අලාභෝ, අයසෝ - යසෝච, නින්දා පසංසාච සුඛංච දුක්ඛං, එහි පිහිටා අප වැඩ කිරිම ඉතා වැදගත් වෙනවා. ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී, ධර්මයෙන් ජීවත්වන මිනිසා සැමවිටම ධර්මයෙන් ආරක්ෂා කරන බව අප සියලු දෙනාම දන්නවා.

ඔබ සියලුදෙනාටම ස්තූතියි! තෙරුවන් සරණයි!



උපුටා ගැනීම දිනමිණ පුවත් පත ඇසුරෙනි

More News »