රබර් වගාව රකින්න විශේෂ වැඩපිළිවෙළක්

Dec 29, 2018 09.23am
feature-top
රබර් කිරිවලින් දේශීය නිෂ්පාදන සිදු කර රබර් නිමි භාණ්ඩ වෙළෙඳ පොළ පුළුල් කිරීම තුළින් රබර් වගාව ආරක්ෂා කර ගැනීමේ විශේෂ වැඩපිළිවෙළක් නව ආණ්ඩුව ආරම්භ කර ඇත. ශ්‍රී ලංකාවේ අපනයන බෝග අතරින් දෙවැනි තැන හිමිකර ගන්නා රබර් ප්‍රාථමික අමුද්‍රව්‍යයක් වශයෙන් විදේශ වෙළෙඳ පොළ වෙත යැවෙන බැවින් ලාභ ඉපැයීමේ හැකියාව අවම වී තිබෙන බව ශ්‍රී ලංකා රබර් පර්යේෂණ මණ්ඩලය පෙන්වා දීමෙන් පසු මේ කාර්යයන් විධිමත්ව, සක්‍රීය කිරීමට පියර ගත් බව වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය සඳහන් කෙළේය.

මේ වන විට දේශීය නිමි භාණ්ඩ ලෙස රබර් කිරිවලින් නිපදවන ටයර්, ටියුබ්, පාවහන්, සෙල්ලම් බඩු මෙන්ම රථවාහනවලට අවශ්‍ය බීඩින් වැනි වෙනත් අමතර කොටස් ද දේශීය වෙළෙඳ පොළ තුළ සංසරණය වන අතර, එම නිෂ්පාදන සඳහා ස්ථිර වෙළෙඳ පොළක් ඇති කර එය ව්‍යාප්ත කිරීම තුළින් ස්වභාවික දේශීය රබර් නිෂ්පාදන ආරක්ෂා කර ගනිමින් වැඩි දියුණු කිරීමට තීරණය කර ඇත.

පැළ වගාව, පොහොර යෙදීම, නඩත්තුව හා කිරි අස්වනු නෙළීම ආදිය සිදු කිරීමේ පොහොර හා අවශ්‍ය කම්කරුවන් සඳහා යොදවන මුදල් හේතුවෙන් අස්වනු මගින් ලාභ ලැබීම අවම වී තිබෙන බවට හඳුනා ගෙන ඇති අතර, ඒ අනුව ස්වභාවික රබර් අමුද්‍රව්‍යයක් ලෙස දේශීය වෙළෙඳ පොළ වෙත ලබා දීමටත්, අතිරික්ත ගබඩා කර තබා ගෙන මිල පාලනය සඳහා අවශ්‍ය ප්‍රමාණයට පමණක් වෙළෙඳ පොළ වෙත මුදා හැරීමටත් ආණ්ඩුව වැඩපිළිවෙළක් සකසයි.

මීට සමගාමීව රබර් වගාව වැඩි දියුණු කිරීමට ද පියවර ගැනෙන අතර, නව වගාකරුවන් හා නැවත වගා අරඹන්නන් සඳහා වැඩි කිරි අස්වනු ලබාගත හැකි දෙමුහුන් රබර් පැළ ලබාදීමට ද වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව ශ්‍රී ලංකා රබර් පර්යේෂණ මණ්ඩලය සඳහන් කළේය.

රබර් වගාව ආරක්ෂා කරමින් වැඩි දියුණු කිරීම සඳහා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ උපදෙස් මත ශ්‍රී ලංකා රබර් පර්යේෂණ මණ්ඩලය ද, තුරුසවිය අරමුදල, ශ්‍රී ලංකා රබර් නිෂ්පාදන හා අපනයන සංස්ථාව හා ඉඩම් කැබලි කිරීම පාලනය කිරීමේ මණ්ඩලය එක්ව ක්‍රියාත්මකව සිටී. මේ වන විට කෑගල්ල, කළුතර, රත්නපුරය, කොළඹ, ගාල්ල දිස්ත්‍රික්කවල වැඩි වශයෙන්ද, මාතලේ, මහනුවර, මාතර, මොනරාගල යන දිස්ත්‍රික්කවල සුළු වශයෙන් ද රබර් වගාව ව්‍යාප්ත වී ඇත.

සෙල්සියස් අංශක විසි හතකට ආසන්න ඒකාකාරි මධ්‍ය උෂ්ණත්වයක්, වසර පුරා පැතිරුණු මිලි මීටර් දෙදහසකට වැඩි වාර්ෂික වර්ෂාපතනයක් සහිත ප්‍රදේශ රබර් වගාවට සුදුසු වන අතර, කබොක් මිශ්‍ර රතු පස සහිත බෑවුම් ප්‍රදේශවල වගා කෙරේ.

ඉන්ධනවලින් නිපදවන කෘත්‍රිම රබර් හේතුවෙන් ස්වභාවික රබර් කිරි අස්වනු සඳහා ඇති ඉල්ලුම ලෝක වෙළෙඳ පොළ තුළ පහත මට්ටමක තිබෙන බැවින් අමුද්‍රව්‍යයක් ලෙස අපනයනය කිරීමේ දී රබර් සඳහා ලැබෙන මිල අවමය. කෙසේ වුවද දේශීය ඉල්ලුම මත වුවද අවශ්‍ය ප්‍රමාණයට රබර් අමුද්‍රව්‍යයක් ලෙස ලබා දීම අවම මට්ටමක තිබෙන අතර, ඊට හේතුව රබර් වගාකරුවන් සඳහා වැය වන පිරිවැය කිරි අස්වනු මගින් ලබා ගැනීමට නොහැකිවීම බවට හඳුනා ගෙන ඇත.

රබර් වගාවට යොදා නොගත් මොනරාගල දිස්ත්‍රික්කයේ ද රබර් වැවීම මේ වන විට ආරම්භ කර පවත්වා ගෙන යයි.

මේ වන විට මෙරට රබර් අමුද්‍රව්‍යයක් ලෙස චීනය, අමෙරිකා එක්සත් ජනපදය, පෝලන්තය, ජපානය, මෙක්සිකෝව හා යුරෝපා ආර්ථික ප්‍රජාව මිල දී ගනී. ශ්‍රම හිඟය, නිෂ්පාදන වියදම අධික වීම, අයහපත් කාලගුණික තත්ත්වයන් නිසා ඇති වන බාධා, කෘත්‍රිම රබර්, මිල උච්ඡාවචනය, ප්‍රාථමික අමුද්‍රව්‍යයක් ලෙස අපනයනය කිරීම හා වගා කරන බිම් ක්‍රමයෙන් අඩුවීම වැනි හේතු නිසා රබර් වගාව අභියෝගයට ලක්ව තිබේ.

මේ ගැටලු නිරාකරණය සඳහා වගාව දියුණු කිරීමත් අස්වනු අලෙවිය සඳහා ජාත්‍යන්තර ගිවිසුම්වලට එක්වීමත් නව නිපැයුම් වෙත යොමු කරවීමත් මූලික කර ගනිමින් වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය මේ වන විට රබර් වගාව ආරක්ෂා කර ගැනීම සඳහා ඉදිරි සැළසුම් ක්‍රියාවට නංවා තිබේ.

රබර් අස්වනු වැඩි කර ගැනීමට අගලවත්ත රබර් පර්යේෂණාගාරය මගින් වැඩි ඵලදාවක් ලබාදෙන රබර් විශේෂ හඳුන්වා දී ඇත.

මීට අමතරව පුද්ගලික රබර් පැළ තවාන් හා වාණිජ රබර් පැළ තවාන් පිහිටුවීමට අවශ්‍ය පසුබිම සකසා තිබෙන අතර, මේ තවාන්වල උසස් තත්ත්වයේ බද්ධ අතු තවාන් සඳහා රෝපණ ද්‍රව්‍ය ආණ්ඩුවෙන් ලබාදීමට වැඩපිළිවෙළක් සකසා ඇත. මේ සඳහා අවශ්‍ය උපදෙස් රබර් සංවර්ධන නිලධාරීන් මගින් ලබා ගැනීමට ද හැකියාව තිබේ.



උපුටා ගැනීම දිනමිණ පුවත් පත ඇසුරෙනි

More News »