ගංවතුරින් උතුරේ විනාශ වී ගිය යටිතල පහසුකම් නංවන්න කඩිනම් වැඩපිළිවෙළක්

Dec 27, 2018 09.04am
feature-top
ගංවතුරින් විනාශවී ගිය උතුරු පළාතේ සියලු යටිතල පහසුකම් කඩිනමින් නංවාලීමේ දැවැන්ත වැඩපිළිවෙළක් ආරම්භ කරන බව අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා, පළාත් පාලන ඇමැති වජිර අබේවර්ධන මහතා පැවැසීය.

ඒ අනුව පළාත් සභා පළාත් පාලන ආයතනවල, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල තිබෙන භෞතික හා මානව සම්පත් යොදා නව වැඩපිළිවෙළක් එකවර ආරම්භ කරන බවද ඇමැතිවරයා කීය. මේ වනවිට උතුරේ ගංවතුර තත්ත්වය ක්‍රමයෙන් පහව යමින් තිබෙන බව කී ඇමැතිවරයා, ඉදිරි දින කිහිපය අවසානයේ එහි ජනතාවට නැඟී සිටීමට අවශ්‍ය සියලු සේවා ලබාදෙන ‍බවද කීය.

ගංවතුරින් හානියටපත් දිස්ත්‍රික්කවලට ලබාදිය යුතු සහන පිළිබඳ කතිකා කිරීම ඇතුළු තවත් සංවර්ධන යෝජනා ගැන දැනුම්වත් කිරීමට අද (27) කොළඹදී සියලුම දිසාපතිවරුන්ගේ සහභාගිත්වයෙන් සමුළුවක් පැවැත්වෙන බවද වජිර අබේවර්ධන මහතා සඳහන් කෙළේය.

මේ අතර උතුරු පළාතේ ගංවතුරින් විපතට පත්වූවන්ට සහන සැලැසීමේ කටයුතු වේගවත් කිරීමට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හෙට (28) කිළිනොච්චියේ නිරීක්ෂණ චාරිකාවකට සහභාගි වීමට නියමිතය.

අගමැතිතුමා මේ අවස්ථාවේදී සහන සේවා සලසන රාජ්‍ය අංශ නිලධාරීහු ආරක්ෂක අංශ ප්‍රධානීහු, ආගමික, දේශපාලනික, සිවිල් සංවිධාන හා විපතටපත් ජනතාව මුණගැසීමට ද නියමිත බව ඇමැති වජිර අබේවර්ධන මහතා කීය.

පවුල් 27000ක පුද්ගලයන් 75000ක් දෙනා මේ ගංවතුරින් අවතැන් වී ඇත. එම ප්‍රමාණය තවත් ඉහළ යා හැකි බවද ඇමැතිවරයා කියා සිටියේය. මේ සියලු පිරිස් වෙත කඩිනමින් සහන සැලැසීමට රජය අවශ්‍ය තරම් මුදල් ලබාදී ඇතැයි ද අගමැති කාර්යාලයේ ඊයේ පැවැති විශේෂ මාධ්‍ය හමුවේදී අබේවර්ධන මහතා මේ බව පැවසීය.

උපුටා ගැනීම දිනමිණ පුවත් පත ඇසුරෙනි

More News »