මහනුවර ජනතාවට වන්දි දෙන්න රජය මුදල් ‍වෙන්කළා

Aug 09, 2018 10.37am
feature-top
මහනුවර ප්‍රදේශයේ ඇතිවූ නොසන්සුන්තාව හේතුවෙන් දේපළ හානි වූ පුද්ගලයන්ට වන්දි ගෙවීමට රජය මුදල් ‍වෙන්කර ඇති බවත් තක්සේරු වාර්තා ඉදිරිපත් වූ වහාම ගෙවීම් සිදුකරන බවත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (8) ප්‍රකාශ කළේය. රුපියල් මිලියන 205ක මුදලක් මේ වෙනුවෙන් වෙන්කර ඇති බවත් මේ වන විට රුපියල් මිලියන 18ක් ගෙවා අවසන් බවත් අගමැතිවරයා සඳහන් කළේය.

ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 11 ක ආගමික ස්ථාන විස්සක් නිවාස 297ක් ව්‍යාපාර 223ක් හා වාහන 65ක් හානී වී ඇති බවට පැවසූ අගමැතිවරයා වන්දි ගෙවීම සාමාන්‍ය ක්‍රමවේදයෙන් බැහැරව තක්සේරුව මත ගණනය කළහැකිදැයි සොයා බලන බවත් අගමැතිවරයා සඳහන් කළේය. අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ අගමැතිවරයාගෙන් විමසන ප්‍රශ්න වටය යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රී වේලු කුමාර් මහතා මතුකරන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවැසීය.

පසුගිය මැයි මස මහනුවර සිදු වූ ප්‍රචණ්ඩකාරි සිදුවීම් හේතුවෙන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 11 ක දේපල හානි සිදුවී තිබෙනවා.ඒ වගේම මෙම සිදුවීමෙන් ආගමික ස්ථාන 20 ක් නිවාස 297 ක් ව්‍යාපාරික ස්ථාන 223 ක් හා වාහන 65 ක් හානියටපත් වී තිබෙනවා. ඒ ඒ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස අනුව හානියට පත් දේපල පිළිබඳ වාර්තාව මම සභාගත කරනවා.මෙම සිදුවීම නිසා හානියට පත් වූ දේපල සඳහා වන්දි ගෙවීමට රජය විසින් රුපියල් මිලියන දෙසිය පහක මුදලක් තක්සේරු කර තිබෙනවා.රජය විසින් තක්සේරු කර තිබෙන මුලු මුදලම වන්දි වශයෙන් ලබාදීමට අප කටයුතු කරනවා. ඒ වගේම 2018 ජූලි 31 දින වනවිට රජය විසින් රුපියල් මිලියන 18 ක මුදලක් වන්දි වශයෙන් ලබා දී තිබෙනවා. ඉතිරි මුදලුත්වන්දි මුදල් තක්සේරු කිරීමේ කටයුතු නිමවූ වහාම ඉතා ඉක්මනින් ලබා දීමට කටයුතු කරනවා.


උපුටා ගැනීම දිනමිණ පුවත් පත ඇසුරෙනි

More News »