මත්පැන් විස වී 3ක් මරුට

Aug 06, 2018 10.16am
feature-top
ඇවන්ගාඩ් ආරක්ෂක සේවාවේ ආරක්ෂාව යටතේ වාද්දුව ප්‍රදේශයේ පැවැති සුපිරි ගණයේ සාදයකදී විස මත්ද්‍රව්‍යයක් හෝ වෙනත් විස සහිත දෙයක් ශරීරගත වීමෙන් පෙරේදා රාත්‍රියේ (04) තිදෙනකු මියගොස් තවත් එක් අයකු රෝහල්ගතකැර ඇත.

 විවිධ උත්සව පවත්වන ආයතනයක් විසින් සංවිධානය කර ඇති මෙම සුපිරි සාදයට පුද්ගලයින් ඇතුළත් කරගෙන ඇත්තේ එක් අයෙකුට රුපියල් 5000 බැගින් අයකර ටිකට්පතක් අලෙවි කිරීමෙන් බව පැවසේ.

වාද්දුව ප්‍රදේශයේ මුහුදු වෙරළට ආසන්නව පිහිටි මෙම සුපිරි උත්සව ශාලාවට පුද්ගලයින් ඇතුළත් කිරීමේ කටයුතු සිදුකර ඇත්තේ ඇවන්ගාඩ් ආරක්ෂක සේවාව මඟිනි.

රටේ විවිධ ප්‍රදේශවලින් පැමිණි ඉහළ පැළැන්තියේ දහසක පමණ පිරිසක් මෙම අවස්ථාවට සහභාගිවී ඇත.

මෙම උත්සවය සඳහා ආහාරපාන, මත්පැන් සහ වෙනත් ද්‍රව්‍ය සියල්ල ඇතුළත් කැර ඇත්තේද ඇතුල් වූ පුද්ගලයින් පිළිබඳ පරීක්ෂා කිරීමේ කටයුතු සහ අවසරපත්‍රද පරීක්ෂාකැර ඇත්තේ ද ඇවන්ගාඩ් ආරක්ෂක සේවාවයි.

මෙහි උත්සවය පැවැත්වෙන අතරතුර හදිසියේම තිදෙනෙකු රෝගාතුරවී රෝහල්වලට ඇතුළත් කර ඇත. එහිදී දෙදෙනෙක් එම අවස්ථාවේම මියගොස් ඇත. බරපතළ තත්ත්වයේ සිටි තවත් පුද්ගලයකු මියගොස් තිබුණේ ඊයේ පස්වරුවේය. මෙම අභිරහස් මරණ සිදුවීමත් සමඟ වාද්දුව පොලිසිය පරික්ෂණ පවත්වා පානදුර මහේස්ත්‍රාත්වරයාට කරුණු වාර්තාකර එම උත්සව ශාලාවට සීල් තබා තිබිණ.

පොලිසිය සැක කරන්නේ මෙම මරණ සිදුවී ඇත්තේ ආහාර ද්‍රව්‍යයකට වඩා යම්කිසි මත්ද්‍රව්‍යයක් ශරීරගතවීමෙන් බවයි. කෙසේ වෙතත් මෙම උත්සව ශාලාවට ගෙන ගොස් ඇති මත්ද්‍රව්‍ය මොනවාද? මත් පැන් මොනවාද? එහිදී ආහාරයට ගත් ආහාරපාන ඇතුළු සියලු දෑ සම්බන්ධව මේ වන විට පුළුල් පරීක්ෂණයක් ආරම්භ කැර තිබේ.

එහිදී උත්සව ශාලාවේ කටයුතු භාරගෙන සිටි වගකිවයුතු පුද්ගලයින් සහ එහි ආරක්ෂක නිලධාරීන්ගෙන්ද උත්සව අවස්ථාවට සහභාගිවූවන් ඇතුළු විශාල පිරිසකගෙන් ප්‍රකාශ සටහන් කැරගෙන යයි.

මෙහිදී මියගොස් ඇත්තේ දිවුලපිටියේ පදිංචි දොන් මිලාන් චාමික (20), පොතුහැර පදිංචි සී.පාලින්ද මනෝජ් (28) සහ තවත් තරුණයෙකි.

පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා මෙම සිද්ධිය සම්බන්ධව පුළුල් පරීක්ෂණයක් කරන ලෙසට පොලිසියට උපදෙස් දී ඇත.


උපුටා ගැනීම දිනමිණ පුවත් පත ඇසුරෙනි

More News »