කාන්තාවන් 75000කගේ ණය ආණ්ඩුව ගෙවනවා

Aug 03, 2018 09.45am
feature-top
මැති ඇමැති වැටුප් වැඩි කරන්නේ නෑ
මූල්‍ය හා ක්ෂුද්‍ර මූල්‍ය ආයතනවලින් රුපියල් ලක්ෂයක් හෝ ඊට අඩු ණය මුදලක් ලබාගෙන ආපසු ගෙවීමට නොහැකිව අසරණව සිටින දිස්ත්‍රික් 12ක කාන්තාවන් හැත්තෑපන්දහසකගේ ණය ආණ්ඩුව විසින් ගෙවාදැමීමට තීරණය කළ බව මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා ප්‍රකාශ කෙළේය.

ඒ අනුව රුපියල් කෝටි 100ක මුදලක් මේ සත් කටයුත්තට ආණ්ඩුවට වැයකරන්නට සිදුවන බවද ඇමැතිවරයා පෙන්වා දුන්නේය. කොළඹ කොටුව පිහිටි මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ඊයේ (02) සවස පැවැති විශේෂ මාධ්‍ය හමුවට එක්වෙමින් ඇමැතිවරයා මේ බව කියා සිටියේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මංගල සමරවීර මහතා මෙසේ ද කීය.

මූල්‍ය හා ක්ෂුද්‍ර මූල්‍ය ආයතනවලින් ගම්බද දුප්පත් කාන්තාවෝ රුපියල් ලක්ෂයට, ලක්ෂයට අඩුවෙන් ණය මුදල් ලබාගෙන තිබෙනවා. මේ අයට මේ ණය ආපසු ගෙවීමට හැකිවී නැහැ. ඊට නියඟය පවා බලපෑවා.

මේ නිසා ඉතා අසරණ වූ කාන්තාවෝ වැඩි වශයෙන් සිටින දිස්ත්‍රික්ක 12ක ණය මුදල් ආණ්ඩුවෙන් ගෙවන්න තීරණය කළා. මේ අවුරුද්දේ ජුනි 30 වන විට මාස තුනක වාරික ගෙවාගන්න බැරිවූ, රුපියල් ලක්ෂයට අඩු ණය මුදල් අපි ගෙවනවා. මේ මුදල් ගෙවන්නේ මුලින්ම දිස්ත්‍රික්ක 12කයි. ඒවා නම් ත්‍රිකුණාමලය, අම්පාර, මඩකලපුව, යාපනය, මුලතිව්, කිලිනොච්චිය, වව්නියාව, මන්නාරම, කුරුණෑගල, පුත්තලම, අනුරාධපුරය හා පොළොන්නරුවයි.

මේ යටතේ 75000කට සෙත සැලැසෙනවා. මේ ණය මුදල් ආපසු ගෙවීමට නොහැකි වූ කාන්තාවන්ගේ නාමලේඛනයක් මේ මාසයේ 31 වැනිදාට පෙර මුදල් අමාත්‍යංශයට ලැබෙනවා. ඒ අනුව දිස්ත්‍රික් ලේකම්වරු වෙත ඒ ලේඛනය යවා ජාතික හැඳුනුම්පත් අංකයන් බලා ගෙවීම් සඳහා මුදල් වෙන්කරනවා.

අපි මේ මුදල් අවුරුද්දකට වාරික දෙකක් ලෙස වසර තුනක් තුළදී ගෙවා දමනවා.

මේ මුදල් ලබන මූල්‍ය හා ක්ෂුද්‍ර මූල්‍ය ආයතන ඔවුන්ට අයවිය යුතු පොලී මුදල් අඩුකර ගැනීමට එකඟතාවය පළ කළා.

පුංචි ණය මුදලක් අරගෙන ආපසු ගෙවාගන්න බැරි දුප්පත් ප්‍රදේශවල කාන්තාවෝ ජීවිත පවා අහිමිකරගත් දුක්බර අවස්ථා අපි දැක්කා. ඔවුන්ට කිසියම් සහනයක් ලබාදීමට අපි කටයුතු කළ යුතුයි. ඒ අනුවයි ආණ්ඩුව මේ තීරණය ගත්තේ. අපිට තොරතුරු ලැබුණා ණය ආපසු ගෙවාගන්න බැරිව පොලීකරුවන්ගේ විවිධ ගැටලුවලට කාන්තාවෝ ලක්වෙන බවට. ලිංගික අතවරයන්ට පවා ලක්වීමට සිදුවූ අවස්ථා ගැන වාර්තා වුණා.

උතුරේ ක්‍රියාත්මක වූ “ආවා කල්ලිය” මේ අසරණ කාන්තාවන්ගෙන් පොලී මුදල් ඉල්ලා කරදර කරන අවස්ථා තිබෙනවා. මේවාගේ අසරණ පිරිස්වලට සහනයක් ලබාදීමට ආණ්ඩුවක් කටයුතු කළ ඉතිහාසයේ පළමු අවස්ථාව මෙයයි. මුදල් රාජ්‍ය ඇමැති ඉරාන් වික්‍රමරත්න, මුදල් හා ජනමාධ්‍ය ඇමැතිවරයාගේ ආර්ථික උපදේශක මනෝ තිත්තවැල්ල, මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය ලේකම් එස්. ආර්. ආටිගල, සංවර්ධන මූල්‍ය දෙපාර්මේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රියංක අතපත්තු යන මහත්වරු ද මේ අවස්ථාවට එක්ව සිටියහ.

මැති ඇමැතිවරුන්ගේ වැටුප් 215%කින් වැඩි කිරීමට පියවර ගන්නා බවට මාධ්‍ය මඟින් පළ කර තිබූ වාර්තා පිළිබඳ අදහස් දැක්වූ ඇමැති මංගල සමරවීර මහතා මේ අවස්ථාවේ කිසිවකුගේ වැටුප් වැඩි කිරීමට සුදුසු වාතාවරණයක් රටේ නොමැති බවත් එසේ වැටුප් වැඩි කිරීමට තමා පෞද්ගලිකවත් එකඟ නොවන බව ඒ මහතා කීය.

අධිකරණ ක්ෂේත්‍රයේ අයගේ වැටුප් වැඩි කිරීමට සාපේක්ෂව මැති ඇමැතිවරුන්ගේ වැටුප් වැඩි කිරීමට කලින් එකඟතාවයක් තිබුණත් මේ අවස්ථාව ඊට සුදුසු නොවන බව ඇමැතිවරයා අවධාරණය කළේය.


උපුටා ගැනීම දිනමිණ පුවත් පත ඇසුරෙනි

More News »