වෛද්‍යවරු සිංගප්පූරු ගිවිසුමටත් විරුද්ධ වීම කුමන්ත්‍රණයක්

Jul 28, 2018 10.15am
feature-top
කලක් සයිටම් එකට විරුද්ධ වූ වෛද්‍යවරු දැන් සිංගප්පූරු වෙළෙඳ ගිවිසුමට එරෙහිව වර්ජන කරන්නට යන බවත් මෙය දේශපාලන කුමන්ත්‍රණයක එක් කොටසක් බවත් පාර්ලිමේන්තුවේ සභානායක, රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන හා මහනුවර සංවර්ධන ඇමැති අධි නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

තමන් නොදන්නා ක්ෂේත්‍රයක් සම්බන්ධයෙන් වෛද්‍යවරු වර්ජනය කරන්නට යෑම සම්පූර්ණයෙන්ම රජය අපහසුතාවට පත් කිරීමේ වැඩපිළිවෙළක කොටසක් බවත් මේ ගිවිසුම ඇති කිරීමත් සමඟ සිංගප්පූරුවේ වෛද්‍යවරු මෙරටට පැමිණෙතැයි පැවැසීම මුළුමනින්ම අසත්‍යයක් බවත් කිරිඇල්ල මහතා කීය.

සිංගප්පූරුවේ සේවය කරන වෛද්‍යවරයකු මාසිකව රුපියල් ලක්ෂ 40ක පමණ වේතනයක් ලබන බවත් මෙරට වෛද්‍යවරු එරටට යෑමට උත්සාහ කරනු විනා එරට වෛද්‍යවරු මෙරටට ඒමට කිසි විටෙකත් උනන්දු නොවන්නේ යැයි ද හෙතෙම කීවේය.

නිව්යෝක් ටයිම්ස් පුවත්පත මගින් හිටපු ජනපති මහින්ද ඇතුළු රාජපක්ෂවරුන්ට කළ චෝදනාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ පැවැති විවාදය රජපක්ෂ පවුල එක්ව සැළසුම් සහතව මඟ හැරි බවත් මේ විවාදයට පැමිණ රාජපක්ෂලා සල්ලි නොගත් බව කීවේ නම් ඔවුන්ට සල්ලි දුන් අය අමනාප වන බවත් සල්ලි ගත් බව කීවේ නම් නඩු වැටෙන බවත් කල් තියා තේරුම් ගෙන ඔවුන් විවාදය මඟ හැරි බව ද ඇමැතිවරයා කීවේය.

රාජපක්ෂ පවුල එදා පාර්ලිමේන්තු නොපැමිණියේ මේ චෝදනා සම්බන්ධයෙන් පිළිතුරු දීමට නොහැකි නිසා බව ද හෙතෙම කීය.

මේ අවස්ථාවට මහනුවර නගරාධිපති කේසර සේනානායක, ගඟවට කෝරළය ප්‍රාදේශීය සභාවේ සභාපති සුබාෂ් යටවර, ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ සභාපති කස්තුරි අනුරාධනායක, ඇමැති කිරිඇල්ල මහතාගේ පෞද්ගලික ලේකම් අධිනීතිඥ චමින්ද්‍රානි කිරිඇල්ල යන මහත්ම මහත්මීහු සහභාගි වූහ.

රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශය හා මුදල් අමාත්‍යාංශය එක්ව ක්‍රියාත්මක කරන ලක් දිරිය ණය යෝජනා ක්‍රමය යටතේ මහනුවර ප්‍රාදේශීය සංවර්ධන බැංකුව මගින් ණය ඉල්ලුම් කළ පුද්ගලයන් 324 දෙනකු සඳහා රුපියල් මිලියන 200ක මුදලක් ලබාදීම වෙනුවෙන් මහනුවර ඕක්රේ හෝටලයේ දී පෙරේදා (26) පැවැති උත්සවයක දී ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළේය.


උපුටා ගැනීම දිනමිණ පුවත් පත ඇසුරෙනි

More News »