පළාත් ඡන්දය ඉක්මන් කරන්නැයි එජාපය මැකෝගෙන් ඉල්ලයි

Jul 26, 2018 09.45am
feature-top
පළාත් සභා මැතිවරණය පරණ හෝ අලුත් මැතිවරණ ක්‍රමය යටතේ නොපමාව පවත්වන ලෙස මැතිවරණ කොමසාරිස්වරයාට දැනුම් දීමට එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය ඊයේ තීරණය කළේය.

මේ සම්බන්ධයෙන් අනෙකුත් පක්ෂ දැනුවත් කිරීමට ද තීරණය වී තිබේ.පළාත් හයක මැතිවරණය පැවැත්විමට නියමිත අතර මැතිවරණය කල් නොදමා පැවැත්වීමේ අවශ්‍යතාව මෙහිදී අවධාරණය කෙරිණි.

එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිරිකොත පක්ෂ මූලස්ථානයේදී ඊයේ (25) පැවැත්විණි.

කෘත්‍යාධිකාරී මණ්ඩලයට අලුතින් පත් කෙරුණු කර්මාන්ත හා වානිජ කටයුතු නියෝජ්‍ය ඇමැති බුද්ධික පතිරණ මහතාද ඊයේ කෘත්‍යාධිකාරි මණ්ඩලයට සහභාගි වී සිටියේය.

රාජ්‍ය ඇමතිනි විජයකලා මහේෂ්වරන් මහත්මියට එරෙහිව පැවැත්වෙන විනය පරීක්ෂණය අවසන් වී වාර්තාව ඉදිරිපත් වූ විට ඒ අනුව ඇයට එරෙහිව පියවර ගැනීමට ද මෙහිදි තීරණය විය.පසු ගිය මැතිවරණයේ දී පක්ෂයේ විනයට පටහැණිව ක්‍රියා කළ අයට එරෙහි විනය පියවර ගන්නා බවත් ශ්‍රිනාත් පෙරේරා සහ අනුරාධ විමරත්න මහත්වරුන්ට එරෙහි විනය පරීක්ෂණ එකඟතාවයකින් අවසන් කිරිමට තීරණය වී තිබේ. අකිල විරාජ් කාරියවසම්, රංජිත් මද්දුමබණ්ඩාර, තලතා අතුකොරල සහ කබීර් හෂීම් අමාත්‍යවරුන් මෙම කමිටුවේ සාමාජිකයෝ වෙති.

පක්ෂයේ ප්‍රචාරණ යාන්ත්‍රණය ශක්තිමත් කිරිම සඳහා පත් කෙරුණු අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු කමිටු වාර්තාව ලබන බදාදා දේශපාලන මණ්ඩලයට ඉදිරිපත් කිරීමටද තීරණය විය.

පසුගිය දිනවල සිදු වූ ආපදා තත්ත්වයන් නිසා විපතට පත් ජනතාවට රජයේ වන්දි බෙදා දීමේදි රජයේ නිලධාරීන් අතින් දූෂණ සිදු වී ඇතැයි අමාත්‍ය තලතා අතු‍කෝරල සහ ලක්ෂ්මන් විජේමාන්න මහතා මෙහිදි කරුණු දක්වා තිබේ. මේ පිළිබඳව උදාහරණ සහිතව ඔවුන් දෙදෙනා කරුණු දක්වා ඇති අතර මේ සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන අමාත්‍ය වජිර අ‍බේවර්ධන මහතාට පැමිණිලි කර ඇති බවත් ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වෙන බවත් මෙහිදි කරුණු අනාවරණය විය.ඒ අනුව වැරදිකරුවන් වන රජයේ නිලධාරින්ට උපරිම දඬුවම් ලබා දීමටද තීරණය විය.


උපුටා ගැනීම දිනමිණ පුවත් පත ඇසුරෙනි

More News »