තියුණු ආයුධවලින් පහරදී ගරාඡ් හිමිකරු මරා දාලා; නමගිය අපරාධකරු සොයා පොලිසිය පරීක්‌ෂණ

Jul 07, 2018 11.16am
feature-top
කුලී පදනම මත වාහන සපයන සහ වාහන අලුත්වැඩියා කිරීමේ ගරාජයක්‌ පවත්වාගෙන යන ව්‍යාපාරිකයකු සන්නද්ධ කණ්‌ඩායමක්‌ විසින් පෙරේදා (05දා) සවස අනුරාධපුර දීපානි මහා විද්‍යාලය අසලදී තියුණු ආයුධ වලින් පහරදී කපා කොටා ඝාතනය කොට ඇත.
 
 පෙරේදා (05) සවස 3.30 ට පමණ මෙම ඝාතනය සිදු කොට ඇත. අනුරාධපුර විජයපුර රාහුල මාවතේ පදිංචිව සිටි හතළිස්‌ පස්‌ හැවිරිදි තිදරු පියකු වන එච්. ඒ. සංජීව ප්‍රසන්න කුමාර හෙට්‌ටිආරච්චි නමැති අයකි.
 
 පෙරේදා (05දා) සවස 3.00 ට පමණ ඔහුගේ නිවස වෙත මෝටර් රථයකින් පැමිණි පුද්ගලයකු දීපානි මහා විද්‍යාලය අසල සිය මෝටර් රථය ක්‍රියා විරහිත වී ඇති බව පවසා එය පරීක්‌ෂා කිරීම සඳහා ඝාතනයට ලක්‌වූ ව්‍යාපාරික හිමියා කැඳවා ගෙන ගොස්‌ ඇත.
 
 අනතුරුව ව්‍යාපාරිකයා දීපානි මහා විද්‍යාලය අසලට පැමිණෙනවාත් සමග ඒ අසල රැක සිටි සන්නද්ධ කණ්‌ඩායම ඔහුට තියුණු ආයුධ වලින් පහරදී බරපතළ තුවාල සිදු කොට පලා ගොස්‌ තිබිණි. අනතුරුව බරපතළ තුවාල ලබා සිටි ව්‍යාපාරිකයා පිරිසක්‌ විසින් ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්‌ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස්‌ ඇති බවත් පොලිස්‌ පරීක්‌ෂණවලදී අනාවරණය වී ඇත.
 
 මේ අතර ඝාතනයට ලක්‌වූ ව්‍යාපාරිකයා එම ස්‌ථානයට කැඳවා ගෙන ගිය පුද්ගලයාද සිද්ධියෙන් පසු පලා ගොස්‌ ඇති බව මේ පිළිබඳව පරීක්‌ෂණ පවත්වන අනුරාධපුර පොලිසිය පවසයි. අනුරාධපුර විජයපුර ප්‍රදේශයේ නමගිය අපරාධකරුවකු සහ ව්‍යාපාරිකයා අතර කලක සිට නොහොඳ නෝක්‌කඩුවක්‌ ඇති බව පොලිසිය සැක කරයි.
 
 මෙම ඝාතනයත් සමග එම අපරාධකරුද ප්‍රදේශයෙන් පලා ගොස්‌ ඇති බව පොලිසිය පවසයි.ව්‍යාපාරිකයා සන්නද්ධ කණ්‌ඩායමේ ප්‍රහාරයට ලක්‌වූ ස්‌ථානයට පෙරේදා (05දා) සවස පැමිණි අනුරාධපුර ප්‍රධාන මහෙස්‌ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා විසින් සිද්ධිය සම්බන්ධයෙන් මහෙස්‌ත්‍රාත් පරීක්‌ෂණය පවත්වනු ලැබිණි.

සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසට මහෙස්‌ත්‍රාත්වරයා අනුරාධපුර පොලිසියට නියෝග කළේය.
 
 මේ පිළිබඳව උතුරු මැද නියෝජ්‍ය පොලිස්‌පති සෙනරත් සඳුන්ගහවත්ත, අනුරාධපුර කොට්‌ඨාස පොලිස්‌ අධිකාරි තිළිණ හේවාපතිරණ සහ අනුරාධපුර පොලිස්‌ අධිකාරි චූලනි සී. වීරරත්න යන මහත්වරුන්ගේ උපදෙස්‌ මත අනුරාධපුර මූලස්‌ථාන පොලිස්‌ පරීක්‌ෂක සංජීව මහානාම මහතාගේ මෙහෙයවීමෙන් අපරාධ විමර්ශන ඒකකයේ ස්‌ථානාධිපති උප පොලිස්‌ පරීක්‌ෂක ජී.විදානගමගේ මහතා ඇතුළු නිලධාරීහු කණ්‌ඩායමක්‌ විසින් වැඩිදුර පරීක්‌ෂණ පවත්වති.


උපුටා ගැනීම දිවයින පුවත් පත ඇසුරෙනි

More News »