නිව්යෝක් ටයිම්ස් කර්තෘටත් තර්ජනය කරනවා

Jul 07, 2018 11.09am
feature-top
රජයේ ඇමැතිවරුන් පිළිබඳව පවා වැඩසටහන් විකාශය කිරීමට තරම් මාධ්‍ය නිදහසක් වත්මන් රජය රටේ ස්ථාපිත කර ඇති බවත් පසුගිය ආණ්ඩුව මා‍ධ්‍යවේදීන්ට තර්ජනය කර මරා දැමීමෙන් නතර නොවී විපක්ෂයට ගිය පසු නිව්යෝක් ටයිම්ස් කර්තෘටත් තර්ජනය කර ඇති බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (6) ප්‍රකාශ කළේය.

මාධ්‍ය ආයතනය සිදුකරන කිසිදු වැඩසටහනක් සම්බන්ධයෙන් ආණ්ඩුව මැදිහත්ව නොමැති බව පැවසූ අගමැතිවරයා‍ නියෝජ්‍ය ඇමැති පාලිත තෙවරප්පෙරුම මහතා කොල්ලුපිටිය පොලිසියට කළ පැමිණිල්ලකට අනුව කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේ විමර්ශනයක් පවතින බවත් අගමැතිවරයා සදහන් කළේය.

නෙත් එෆ් එම් ගුවන් විදුලියේ බැලුම්ගල වැඩසටහන මෙහෙයවන මාධ්‍යවේදීන්ගේ දුරකථන ආණ්ඩුව ටැප් කර ඇත් ද, රහස් පොලිසිය යොදාගෙන ආණ්ඩුව මාධ්‍ය මර්දනය කරන්නේ ද යනුවෙන් ඒකාබද්ධ විපක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අගමැතිවරයා මේ බව සදහන් කළේය.

එමෙන්ම නිව්යෝක් ටයිම්ස් පුවත්පතේ කතුවරයාට හා අනෙකුත් මාධ්‍යවේදීන්ට තර්ජනය කිරීම සම්බන්ධයෙන් හි‍ටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශයක් කළ යුතු බවත් අගමැතිවරයා පැවසීය.

දිනේෂ් ගුණවර්ධන මහතා මතු කළ ප්‍රශ්නයට පිළිතුරු දුන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද සඳහන් කළේය.

වත්මන් රජය මාධ්‍ය නිදහස ඇතිකර තිබෙනවා. මෙතන තිබෙන්නේ නෙත් එෆ් එම් එකේ එක් පුවතක් පිළිබඳ ගත්ත ක්‍රියාමාර්ගයක්. 2018 මාර්තු 4 දින බැලුම්ගල වැඩසටහනේ විකාශයක් ගැන වනජීවි නියෝජ්‍ය ඇමති කළුතර දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම මහතා ලිඛිතව පොලිසියට කළ පැමිණිල්ලක් පදනම් කරගෙන මෙම විමර්ශනය සිදුකරනවා.

වැඩසටහන මෙහෙය වූ දෙදෙනාගෙන් චරිත් ජිවන්ත ධර්මසේන , චාමික ගීත් ගයාන් යන අයගෙන් පොලිසියට පැමිණි පසු ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා. ඊට පසුව මේ පිළිබදව තවත් විමර්ශන කර පසුගිය අටවැනි දා කොටුව මහේස්ත්‍රාත් උසාවියේ කරුණු වාර්තා කර තවත් තුන්දෙනෙක්ගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා. මේ විමර්ශන කොල්ලුපිටිය පොලිසිය සිදුකරනවා. පිටස්තර අය නෙවෙයි විමර්ශන සිදුකරන්නේ. මේ විමර්ශන අවසන් කළ පසු තීරණය කරන්න පුළුවන් මොකක්ද කරන්නේ කියලා.

මෙම වැඩසටහනට අපි කිසිම අවස්ථාවක මැදිහත්වී නැහැ. මාධ්‍ය මගින් මෙවන් වැඩසටහන් කරන්න තරම් ප්‍රමාණවත් මාධ්‍ය නිදහසක් අද රටේ තිබෙනවා. මාධ්‍යවේදීන්ට තර්ජනය කරනවට අපිත් විරුද්ධයි. අපි ළඟදී දැක්කා නිව්යෝර්ක් ටයිම්ස් එකටත් තර්ජනය කර තිබෙනවා. ලංකාවේ මාධ්‍යවේදීන්ට තර්ජනය කර මරනවා විතරක් නෙවෙයි නිව්යෝර්ක් ටයිම්ස් එකේ කර්තෘටත් තර්ජනය කරනවා. ඒ ගැන අදාළ පුවත්පත ප්‍රසිද්ධියේ පළකර තිබෙනවා.


උපුටා ගැනීම දිනමිණ පුවත් පත ඇසුරෙනි

More News »