පිස්තෝල දැරූ ආරක්ෂකයන් සමඟ පැමිණ ප්‍රසන්න රණතුංග තර්ජනය කර මුදල් ඉල්ලුවා

Jun 12, 2018 10.16am
feature-top
මාත් එක්ක දඟලන්න එන්න එපා. මගේ හැටි තමුසෙ දන්නවනේ කියමින් පිස්තෝල සහිතව සිටි ආරක්ෂක නිලධාරින්ද කැටුව මගේ කාර්යාලයට පැමිණි පළමු විත්තිකාර හිටපු මහ ඇමැති ප්‍රසන්න රණතුංග තර්ජනය කරමින් තමාගෙන් සල්ලි ඉල්ලූ බව කොළඹ මහාධිකරණය හමුවේ සාක්කි දෙමින් ව්‍යාපාරිකයකු වූ ජෙරාඩ් මෙන්ඩිස් මහතා ඊයේ (11) පැවැසීය.

කොලොන්නාව මීතොටමුල්ල ප්‍රදේශයේ ඉඩමක් විකිණීමේදී ව්‍යාපාරිකයකුගෙන් රුපියල් මිලියන 611 ක් ලබාගැනීම ඇතුළු අධි චෝදනා 15 ක් මත පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග ඔහුගේ බිරිඳ ඇතුළු විත්තිකරුවන් තිදෙනකුට එරෙහිව නීතිපතිවරයා විසින් පවරා ඇති නඩුවේදී සාක්කි දෙමින් ජෙරාඩ් මෙන්ඩිස් මහතා එසේ පැවැසීය.

තවද විත්තිකාර ප්‍රසන්න රණතුංග මහතා මුදල් ඉල්ලා සාක්කිකරුට තර්ජනය කර ලබාදුන් දුරකථන සංවාදයේ පටිගත කළ සංවාදය අධිකරණයේ අවසරය මත සාක්කිකරු විසින් විවෘත අධිකරණයේ වාදනය කරන ලදී.

එහි විත්තිකාර ප්‍රසන්න රණතුංග මහතා සාක්කිරු අමතා සල්ලි දෙන්න පොරොන්දු වුණ කාලය ඉවරයි. කරුණාකරලා සල්ලි දෙනවා. මාව ගොනාට අන්දන්න හදන්න එපා.

මම නරක මිනිහ කියන්න එපා යනුවෙන් සඳහන්ව තිබුණි.

කොළඹ මහාධිකරණ විනිසුරු චම්පා ජානකී රාජරත්න මහත්මිය හමුවේ මෙම නඩුව විභාගයට ගැනේ.

ප්‍රසන්න රණතුංග ඔහුගේ බිරිඳ මොරීන් ස්ටෙලා රණතුංග, ඊයේ (11) අධිකරණය හමුවේ පෙනී සිටි අතර නඩුවේ තෙවැනි විත්තිකරු වූ ව්‍යාපාරිකයකු වන දෙවන විත්තිකාරියගේ සහෝදරයා වූ හරේන් නමැති විත්තිකරු නොමැතිව මෙම නඩුව විභාගයට ගැනේ.

නඩුව විභාගය සඳහා ඊයේ (11) කැඳවූ අවස්ථාවේ විත්තිකාර ප්‍රසන්න රණතුංග මහතා විසින් සාක්කිකරු හට තර්ජනය කරමින් ලබාදුන් දුරකථන සංවාදය ඇතුළත් සී.ඩී. පටයක් ලැප්ටොප් පරිගණකයක් ආධාරයෙන් වාදනය කිරීමට පැමිණිල්ල සූදානම් වූවද ලැප්ටොප් පරිගණකයේ දෝශයක් හේතුවෙන් එය ඊයේ ක්‍රියාත්මක කිරීමට නොහැකි විය.

එසේ වූවද එම දුරකථන සංවාද සාක්කිකරු පටිගත කළ නඩු භාණ්ඩයක් ලෙස නම් කර ඇති සාක්කිකරුගේ ටැබ් යන්ත්‍රය ආශ්‍රයෙන් එම සංවාදය අධිකරණ අවසර මත විවෘත අධිකරණයේ ඊයේ (11) වාදනය කරන ලදී.

නඩුවේ පැමිණිල්ල මෙහෙයවන නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් තුසිත් මුදලිගේ මහතාගේ මෙහෙයවීම මත වැඩිදුරටත් සාක්කි දුන් ව්‍යාපාරිකයා වූ ජෙරාඩ් මෙන්ඩිස් මහතා මෙසේද පැවැසීය.

හරේන්ද්‍රයි දෙන්නම එකතුවෙලා මාව රවටනවා වගෙයි. මම මීට වැඩිය කතා කරන්නෑ. අදම මගේ සල්ලි ලැබෙන්න සලස්වන්න කියලා දුරකථන ඇමතුමෙන් විත්තිකාර ප්‍රසන්න රණතුංග මට තර්ජනය කළා.

විත්තිකරු එසේ පැවසුවේ දවස ඇතුළත රුපියල් මිලියන හයක් ඔහුට දෙන්න කියලයි. එපමණ මුදලක් දවසින් දෙන්න බැරි නිසා මිලියන තුනක් දී ඉතිරි මුදල් සඳුදට දෙනව කියපු විටයි ඔහු මට දුරකථනයෙන් එසේ තර්ජනය කළේ.

හරේන් කියලා පළමු විත්තිකරු සඳහන් කළේ නඩුවේ තුන්වැනි විත්තිකරුයි. ඔහු දැනට අධිකරණයේ නැහැ. මුලින් මා සාක්කි දුන් පරිදි තුන්වන විත්තිකරු තමයි මේ ගනුදෙනු‍වේ අතරමැදියා ලෙස කටයුතු කළේ.

විත්තිකරු හට මා පොරොන්දු නෝට්ටු පහක් දුන්නා. ඒ මේ දුරකථන සංවාදයට කලින්. ඒ ‍ෙපාරොන්දු නෝට්ටු මා අත්සන් කළේ විත්තිකරුගේ නිවසට ගොස්.

නඩු භාණ්ඩ ලෙස නම් කළ එම පොරොන්දු නෝට්ටු සාක්කිකරු හට පෙන්වා සිටීමෙන් පසු ඒ නෝට්ටු එකම දින ලියූ පොරොන්දු නෝට්ටු බවට පරීක්ෂා කරමින් සාක්කිරු විසින් හඳුනාගන්නා ලදී.

දුරකථන සංවාදය වූ දිනයේම සවස එනම් 2015 මැයි 29 වැනිදා සවස 4-5 අතර විත්තිකරු ඔහුගේ ආරක්ෂකයින් සමඟ මගේ කාර්යාලයට ආවා. ඔහුට කාර්යාලය ඇතුළට එන ලෙසට මා කතා කළත් ඔහු වාහනයේම සිටියා.

පසුව ඔහුගේ වාහනය ළඟට මා ගියා. මා ඔහුට කාර්යාලය තුළට කතා කළේ මේ සිදුවීම හොඳ හැටි පටිගත කරන්නයි. මා විත්තිකරු හට පළමු චෙක්පත දුන් දිනයේම නීතිඥ සහාය පැතුවා. ඒ උපදෙස් මත මා කටයුතු කළා.

විත්තිකරුගේ වාහනය ළඟට ගියවිට මට තර්ජනය කරලා මගෙන් සල්ලි ඉල්ලපු එකයි ඔහු කළේ. මාත් එක්ක දඟලන්න එන්න එපා. මගේ හැටි තමුසෙ දන්නවනෙ කියා තවත් පරුෂ වචනයකුත් පැවසුවා.

අද දවස ඇතුළත මගෙ ප්‍රශ්නෙ විසඳුවෙ නැත්නම් මම නරක මිනිහ කියලා කියන්න එපා යැයි පළමු විත්තිකරු මට පැවසුවා.

පළමු විත්තිකරු මගෙ දරුවෝ ඉදිරියෙන් මෙවැනි තර්ජන කළා. පළමු විත්තිකරු මගේ කාර්යාලයට පැමිණියේ පිස්තෝල සහිතව සිටි ඔහුගේ ආරක්ෂක නිලධාරින් තිදෙනකුත් සමඟයි. මට බියක් ඇති වුණා. සමහරවිට ඔවුන් මාව මරයිද කියලා. පළමු විත්තිකරු මගේ කාර්යාලයට පැමිණෙන එක වළක්වගන්න මට බැරිවුණා. මගේ දරුවො ඉදිරියට පළමු විත්තිකරුගේ පැමිණීම වළක්වා ගන්න ඕන නිසයි මා නිතර පළමු විත්තිකරු හමුවන්න ගියේ.

නඩුවේ වැඩිදුරටත් සාක්කි විභාගය මෙම මස 28 වැනිදාට කල් තැබුණි. විත්තිකරුවන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා සමඟ නීතිඥවරු මඬුල්ලක් පෙනී සිටියහ.



උපුටා ගැනීම දිනමිණ පුවත් පත ඇසුරෙනි

More News »