මිනිස් ශිෂ්ඨාචාරයේ අනාගතය තීන්දු කරන සාධකය පරිසරයයි

Jun 05, 2018 09.20am
feature-top
මිනිස් ශිෂ්ඨාචාරයේ අනාගත පැවැත්ම හෝ නැවැත්ම තීන්දුකරන බලවත්ම සාධකය පරිසරය බවත් “ප්ලාස්ටික් අවභාවිතය මගින් සිදුවන පරිසර දූෂණය පිටුදකිමු” යන මෙවර පරිසර දින තේමාව අර්ථවත් කරමින් පරිසර හිතකාමී ජීවන ආකෘතියක් වෙත ගමන් කළ යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පරිසර දිනය  නිමිත්තෙන් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටී.

එම නිවේදනයේ මෙසේ ද සඳහන්වේ.

මිනිස් ශිෂ්ටාචාරයේ අනාගත පැවැත්ම හෝ නැවැත්ම තීන්දු කරන බලවත්ම සාධකය පරිසරය ය යන්න ඉකුත් සියවස අප වෙත ලබාදුන් සමස්ත දැනුම් පද්ධතියේ සංගෘහිත සාරාර්ථයයි. බලය වෙනුවෙන් වූ ලෝක යුද්ධ, පන්ති අරගල, වාර්ගික ගැටුම් ආදී සියලු තේමා පරදා පරිසරය ජගත් සමුළුවල මුලසුනට ප්‍රමුඛත්වය ලබන්නේ එහි ප්‍රතිඵලයක් වශයෙනි.

විද්‍යා පුනරුදයෙන් පසු එළැඹි යුගය සංවර්ධනය ලෙස හඳුනාගත් තරගකාරී බහු භාණ්ඩික ජීවන මාදිලිය, මිනිසා සහ සොබාදහම අතර පැවැති සහජීවී බැඳීම බලවත් ලෙස පළුදු කළේය. කෘෂිකර්මාන්තය මත පදනම් වූ තිරසර අල්පේච්ඡ ජීවන රටාවක උරුමකරුවන් වූ ශ්‍රී ලාංකිකයන් වන අප ද එම ජීවන මාදිලිය වැලඳගත්තේ විචාරයෙන් තොරවය. අද අප මුහුණදෙන මැසි මදුරු උවදුරේ සිට ගංවතුර, නායයෑම්, කඳු කඩාවැටීම් දක්වා වූ ස්වාභාවික ව්‍යසනයන් ද බෝ නොවන රෝග ලෙස අප ගොදුරු කරගන්නා සෞඛ්‍ය ගැටලු සියල්ල ද මෙම සංවර්ධන මාදිලිය විසින් අප වෙත කැඳවන ලද උවදුරු බව තර්කානුකූලව සිතා බලා පිළිගැනීමට අපට සිදු වේ.

සංවර්ධනය පිළිබඳ මෙම උභතෝකෝටිකය මගහරිමින් ජගත් පරිසර දිනය සැමරීමට අද අපට නොහැක. “ප්ලාස්ටික් අවභාවිතය මගින් සිදුවන පරිසර දූෂණය පිටු දකිමු” යනුවෙන් මෙවර පරිසර දින තේමාව කරළියට එන්නේ එහි ප්‍රතිඵලයක් වශයෙනි.

පරිසරය පිළිබඳ සෞන්දර්යාත්මක වර්ණනා නවතා, අපගේ ජීවන මාදිලීන් වෙතින් පරිසරයට එල්ලවන තර්ජන ගැඹුරින් තේරුම් ගනිමින්, පරිසර හිතකාමී ජීවන ආකෘතියක් වෙත ගමන් කිරීමට එම තේමාව අපට බලකර සිටී.

මිනිසා ද සොබාදහමේ එක් නිර්මිතයක් බව වටහා ගනිමින්, සොබාදහමට සමීපව විසීමට අවැසි අවබෝධයෙන් ද කැපවීමෙන් ද යුතුව ජගත් පරිසර දිනය සැමරීමට පෙළගැසෙන සියලු පරිසරකාමීන් සමඟ මම ද එක්වන අතර, ඒ වෙනුවෙන් සමස්ත පුරවැසියන් වෙත ආරාධනා කරමි.


උපුටා ගැනීම දිනමිණ පුවත් පත ඇසුරෙනි

More News »