පක්ෂ නායකත්වයේ වෙනසක් නෑ

Apr 09, 2018 10.19am
feature-top
එජාප නව නිල මඬුල්ල මැයි 1 වැනි දාට පෙර

එක්සත් ජාතික පක්ෂයේ නව නිලධාරි මණ්ඩලය මැයි පළමු වැනිදාට පෙර පත් කරන බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය මහ ලේකම් අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි. පක්ෂ ව්‍යවස්ථාව අනුව දැනට පක්ෂයේ නායකත්වය සම්බන්ධයෙන් ගැටලුවක් මතු නොවන බව පෙන්වා දුන් ඇමැතිවරයා රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය ඉදිරියටත් පැවැතිය යුතු බවට එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේ සහ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අදහස වු බවද සඳහන් කළේය.

එ.ජා.පයේ දැනට සිටින නිලධාරී මණ්ඩලය අප්‍රේල් 30 දායින් අවසන් වන බව පැවසූ ඇමැතිවරයා මැයි 01 දා නව නිලධාරී මණ්ඩලයක් පත් කෙරෙන බවද කීය.

ඇමැතිවරයා ඒ බව සදහන් කළේ ඊයේ (08) ඒ මහතාගේ නිල නිවසේ පැවැති විශේෂ මාධ්‍ය සාකච්ඡාවේදීය.

නව තනතුරුවලට නිලධාරීන් පත් කර ගැනීම සඳහා එජාප පාර්ලිමේන්තු කණ්ඩායමේ රහස් ඡන්දයෙන් මන්ත්‍රීවරුන් දස දෙනෙකුගෙන් සමන්විත උපදේශක මණ්ඩලයක් පත් කළ බවත් එම මණ්ඩලය විසින් නිර්දේශ ඉදිරිපත් කරන බවද කීය. එම දස දෙනාට අමතරව පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස සහ උප නායක රවී කරුණානායක මහත්වරුන් නිල බලයෙන් මෙම මණ්ඩලයට පත්වන බවද කීය. එම උපදේශන මණ්ඩලයට මංගල සමරවීර, රුවන් විජයවර්ධන, රංජිත් මද්දුම බණ්ඩාර, නවීන් දිසානායක, අජිත්. පී.පෙරේරා, ගයන්ත කරුණාතිලක, එරාන් වික්‍රමරත්න, හරීන් ප්‍රනාන්දු, නලීන් බණ්ඩාර, ජේ.සී.අලවතුවල, අශෝක ප්‍රියන්ත සහ තමා ඇතුළත්වන බව ඇමැතිවරයා කීය.

එම මණ්ඩලය කෘත්‍යාධිකාරී මණ්ඩලයේ හෝ පාර්ලිමේන්තු කණ්ඩායමේ ඡන්දයෙන් පත් කර ගත යුතු යැයි යෝජනා ඉදිරිපත්වු අතර කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අගමැතිවරයාට හිතවත් අය සිටින බැවින් පාර්ලිමේන්තු කණ්ඩායමේ රහස් ඡන්දයෙන් මණ්ඩලය පත් කර ගත යුතු බවට අගමැතිවරයා යෝජනා කළ බවද ඇමැතිවරයා කීය.


උපුටා ගැනීම දිනමිණ පුවත් පත ඇසුරෙනි

More News »