කඳුකරයේ ජල පෝෂක ප්‍රදේශයන්ට තද වැසි

Apr 07, 2018 10.00am
feature-top
මධ්‍යම කඳුකරයේ ජල පෝෂක ප්‍රදේශවලට ඊයේ පස්වරු‍වේ සිට තද වැසි ලැබෙමින් පවතියි.

කාසල්රි සහ මවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශවලට මෙලෙස තද වැසි ලැබෙමින් පවතින අතර පැවති වියළි කාලගුණය නිසාවෙන් ජනතාවට පාලනිය ජලගැටලුවක් ද මතුව තිබුණි.

කාසල්රි හා මවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම පහල වැටීම හේතුවෙන් විමලසුරේන්ද්‍ර, ලක්ෂපාන, නව ලක්ෂපාන, කැනියොන්, පොල්පිටිය යන විදුලි බලාගාරවල විදුලි උත්පාදනය සීමා කර ඇත.

කාසල්රී ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමේ සිට අඩි 28 ක් දක්වා සහ මවුස්සාකැලේ ජලාශයේ ජල මට්ටමේ පිටාර මට්ටමේ සිට අඩි 35 ක් දක්වා පහල බැස තිබේ.

                                                                               මහජනයා සඳහා කාලගුණ අනාවැකි

                                                            2018 අප්‍රේල් මස 07 වන දින උදෑසන 05.30 ට නිකුත් කරන ලදි

දිවයිනට ආශ්‍රිතව ගිනිකොණ දෙසින් පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් වැසි තත්වයේ වැඩිවීමක් (විශේෂයෙන් නැගෙනහිර ,ඌව සහ දකුණු පළාත්වල සහ නැගෙනහිර ,ගිණිකොන සහ දකුණු මුහුදු ප්‍රදේශ වල) බලාපොරොත්තුවේ.

දකුණ, ඌව සහ නැගෙනහිර පළාත් වලත් මාතලේ සහ පොලොන්නරුව දිස්ත්‍රික්කවලත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

සෙසු පළාත්වල තැනින් තැන සවස 2.00 න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

නැගෙනහිර, දකුණ, සබරගමුව සහ ඌව පළාත් වලත් මාතලේ දිස්ත්‍රික්කයෙත් සමහර ස්ථාන වලට මි.මී. 100ට වැඩි තද වැසි බලාපොරොත්තු වේ.

සබරගමුව සහ මධ්‍යම පළාත්වල සමහර ප්‍රදේශවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කල හැක.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක.

අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

දෘශ්‍ය ලෙස සූර්යයා උතුරට ගමන් කිරීමේදී සූර්යයා, අප්‍රේල් මස 05 සිට 15 දක්වා ශ්‍රී ලංකාව ආශ්‍රිත අක්ෂාංශ වලට සෘජුවම ඉහලින් පවතී.

අද දින (07) දහවල් 12.12ට මොරටුව, පොල්ගස්ඕවිට, හඳපාන්ගොඩ, කීරගල, බොගවන්තලාව සහ කොඩිනාරාව යන ප්‍රදේශ වලට හිරු මුදුන්ව පවතී.

                                                           ඉදිරි පැය 24 සඳහා දිවයින වටා ඇති මුහුදේ කාලගුණ තත්ත්වය
                                                        2018 අප්‍රේල් මස 07 වන දින උදෑසන 05.30 ට නිකුත් කරන ලදි

දිවයිනට ආශ්‍රිතව ගිනිකොණ දෙසින් පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් වැසි තත්වයේ වැඩිවීමක් (විශේෂයෙන් නැගෙනහිර, ගිණිකොන සහ දකුණු මුහුදු ප්‍රදේශ වල) බලාපොරොත්තුවේ.

මඩකලපුව සිට හම්බන්තොට සහ ගාල්ල හරහා කොළඹ දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

සමහර ප්‍රදේශවලට තද වැසි බලාපොරොත්තු වේ.

සෙසු මුහුදු ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

කන්කසන්තුරේ සිට මඩකලපුව හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළං නැගෙනහිර සිට ගිණිකොන දක්වා වන දිශාවලින් හමන අතර සෙසු මුහුදු ප්‍රදේශවල සුළං බස්නාහිර හෝ නිශ්චිත දිශාවකින් තොරව හමයි.

සුළගේ වේගය පැ.කි.මී. 20-30 ක් පමණ වේ.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව ඉතා තද සුළං(පැ.කි.මී. 70-80 දක්වා) ඇති විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව රළු විය හැක.



උපුටා ගැනීම දිනමිණ පුවත් පත ඇසුරෙනි

More News »