ප්‍රදේශ කීපයක වූ ප්‍රචණ්ඩත්වය ජනවර්ග අතර ගැටුමක් නොවේ

Mar 09, 2018 09.25am
feature-top
මහනුවර සහ අනෙකුත් ප්‍රදේශවල මුස්ලිම්වරුන් ඉලක්ක කරගෙන මෑතකදී ඇතිවූ ප්‍රචණ්ඩ ක්‍රියාවන් බිම් මට්ටමේ ජනවර්ග අතර ගැටුමක ප්‍රතිඵලයක් නොවන බවත් මෙය පැහැදිලිවම ‍රටේ ජනතාව බෙදා වෙන්කිරීම සහ ඔවුන් වෙත ප්‍රචණ්ඩත්වය මුදාහැරීම තම දේශපාලන ක්‍රමවේදය බවට පත්කර ගත් පිරිසකගේ ක්‍රියාවක් බවත් කතානායක කරු ජයසූරිය මහතා ප්‍රකාශ කරයි.

රටේ වර්තමාන තත්ත්වය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් කතානායකවරයා මේ බව පවසයි.

එම නිවේදනයේ මෙසේ ද දක්වා තිබේ.

මීට තෙවසරකට පෙර, සියලුම ආගම්වලට සහ ජාතීන්ට අයත් ශ්‍රී ලාංකික ජනයා, මෙරටින් ජාතිවාදය සහ වර්ගවාදය තුරන්කර, විවිධ අදහස් අගයන, සාමකාමී, සදාචාරාත්මක රටක් නිර්මාණය කිරීම සඳහා එකාවන්ව සිය ඡන්දය භාවිතා කළෝය. තිස් වසරක ත්‍රස්තවාදී යුද්ධයේ කැළල් මකා ගනිමන්, ජාතීන් අතර සහජීවනය යළි ඇතිකරලීමට ක්‍රියා කරන රටක් ලෙස අප‍ දේශය ජාත්‍යන්තර තලයේ ඔසවා තැබෙද්දී ලොව වටා සිටින අප සහෝදර දේශප්‍රේමී ශ්‍රී ලාංකිකයෝ ඉමහත් ආඩම්බරයට පත් වූහ. 2015 ජනවාරි 08 වනදා විප්ලවයට පාදක වූ මෙම සංකල්පයන් ශ්‍රී ලාංකිකයන්ට අලුත් දෙයක් නොවීය.

අපගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව සියලුම පුරවැසියෝ භේදයකින් තොරව නිදහස, සමානාත්මතාව සහ මූලික මිනිස් අයිතිවාසිකම් භුක්ති විඳිති. අප ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රකාරව, මෙම අයිතීන් පුරවැසියන්ගේ හිමිකම් පමණක් නොව සියලුම ශ්‍රී ලාංකිකයන් මෙන්ම සියලුම ලෝකවාසීන්ගේ අභිමානය සහ සමෘද්ධිය උදෙසා වන අස්පර්ශනීය උරුමයන් වෙති. විධායක, ව්‍යවස්ථාදායක සහ අධිකරණ ආදී ඕනෑම බලතලයකට අදාළ තනතුරකට පත්වන නිලදරුවකු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයෙහි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කිරීමට බැඳී සිටින්නෝය.

මහනුවර සහ අනෙකුත් ප්‍රදේශවල මුස්ලිම්වරුන් ඉලක්ක කරගෙන මෑතකදී ඇතිවූ ප්‍රචණ්ඩ ක්‍රියාවන් බිම් මට්ටමේ ජනවර්ග අතර ගැටුමක ප්‍රතිඵලයක් නොවන්නේය. අප නීතිය අනුව සමාන අයිතීන්ට උරුමකම් කියන මෙම ජනයා එකිනෙකා හා සහජීවනයෙන් යුතුව සියවස් ගණනක් ජීවත්ව ඇත්තාහ. එහෙයින්, පැහැදිලිවම මෙම ක්‍රියාවන් අප රටේ ජනතාව බෙදා වෙන්කිරීම සහ ඔවුන් වෙත ප්‍රචණ්ඩත්වය මුදාහැරීම තම දේශපාලන ක්‍රමවේදය බවට පත්කරගත් පිරිසකගේ ක්‍රියාවකි. මෙවැනිම ප්‍රචණ්ඩත්වයක් අපි 2014 දී ද දුටිමු.

වර්ගවාදී ලෙස ශ්‍රී ලාංකික ජනතාව බෙදන්නට තනන්නන්ට එරෙහිව සිය හඬ අවදි කරන ලෙස ද, බියවැද්දීම්, තර්ජනයන් සහ ප්‍රචණ්ඩත්වය භාවිතා කරමින් ජනතාව අතර ආගමික හෝ වාර්ගික ගැටුම් වර්ධනය කරන්නට උත්සාහ කරන්නන් හෙළාදකින ලෙස ද මම සියලු ආගමික නායකයින්ගෙන් ඉල්ලා සිටිමි. මෙවැනි බෙදීම් ඇතිකරන්නන්ට එරෙහිව අප එකාවන්ව හඬ නැඟිය යුත්තේය. හිටපු සෝවියට් නායක මිහයිල් ගොර්බචොව්ගේ කියමනක් මේ අවස්ථාවේ ඔබට මතක් කිරීමට කැමැත්තෙමි. Òසාමය යනු සමානකම්වල එකමුතුව නොව වෙනස්කම්වල එකමුතුවකි: එකිනෙකා අතර ඇති වෙනස්කම් සන්සන්දනයේ සහ සමාදානයේ ක්‍රියාවලියකිÓ අපට විරෝධතාවයට සහ ප්‍රචණ්ඩත්වයට ඉඩ තැබිය නොහැක. අපගේ පරම යුතුකම වන අප ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව අප පුරවැසියන් වෙත හිමිව ඇති මූලික අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම උදෙසා කටයුතු කරන ලෙස මම රජයෙන්, පාර්ලිමේන්තුවෙන් සහ ස්වාධීන අධිකරණයෙන් ඉල්ලා සිටිමි. ප්‍රචණ්ඩත්වයෙන් සහ තර්ජනයන්ගෙන් පීඩාවිඳින ජනතාව සුරක්ෂිත කිරීම මෙම අවස්ථාවේ අතිශයින්ම වැදගත්ය. ශ්‍රී ලාංකිකයන් ලෙස ඔවුන්ට හිමිවිය යුතු සුරක්ෂිතතාව ඔවුනට හිමි කරදිය යුතුය. තම ආත්මාර්ථකාමී දේශපාලන අවශ්‍යතා වෙනුවෙන් අප රට නැවතත් අතීතයේ අඳුරු යුගය කරා ගෙන යන්නට උත්සාහ කරන්නන් දෙස ගරු අධිකරණයේ ද ඇස යොමු කරවිය යුතුය.

අද වන විට පවතින තත්ත්වය වාර්තා කිරීමට ජනමාධ්‍යවලට පූර්ණ නිදහස ඇත. අද, අප පසෙකට වී බලා නොසිටිනු ඇත. අහිංසක ජනයා බිය වැද්දීමට ඉඩ දී පොලිසිය සහ හමුදාව අනෙක්පස බලා නොසිටිනු ඇත. අද බිය විය යුත්තේ එම බිය වද්දන්නන්මය. මක්නිසාදයත් නීතිය ඔවුනට එරෙහිව තදින් ක්‍රියාත්මක වනු ඇති බැවිනි.


උපුටා ගැනීම දිනමිණ පුවත් පත ඇසුරෙනි

More News »