බිම් බෝම්බ ඉවත් කිරීමේ ශ්‍රී ලංකාවේ කැපවීම ප්‍රශංසනීයයි

Mar 07, 2018 09.11am
feature-top
තම පුරවැසියන්ට සාමාන්‍ය පරිදි ජනජීවිත පවත්වාගෙන යාම වෙනුවෙන් බිම් බෝම්බ ඉවත් කිරීම සඳහා ශ්‍රී ලංකාවේ ඇති කැපවීම සැබවින්ම ප්‍රශංසනීය බව පුද්ගල නාශක බිම්බෝම්බ තහනම් කිරීම පිළිබඳ සම්මුතියේ විශේෂ නියෝජිත මිරෙද් අල්-හුසේන් කුමරු අවධාරණය කරයි. එළඹෙන 2020 වනවිට ශ්‍රී ලංකාව බිම්බෝම්බවලින් තොර දේශයක් බවට පත්කිරීම උදෙසා පියවර ගනිමින් සිටින බව පෙන්වා දෙන ඒ මහතා ඒ වෙනුවෙන් බිම්බෝම්බ ඉවත් කිරීමේ මෙරට ක්‍රමවේදය අගය කරන බවද ඔවුන් විසින් මෙය රාජකාරියක් වශයෙන් නොසළකා තම හදවතින්ම සිදුකිරීම අතිශය වැදගත් බවද පෙන්වා දෙයි.

නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණි විශේෂ නියෝජිතවරයා මේ බව සඳහන් කළේ යාපනය, මුහමලේ ඉදිරි ආරක්ෂක වළල්ල ප්‍රදේශයේ සිදු කෙරෙන බිම්බෝම්බ ඉවත් කිරීමේ කටයුතු නිරීක්ෂණය සඳහා ඊයේ (06) එක්වෙමිනි. එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදීන් විසින් වළදමා තිබෙන බිම් බෝම් ඉවත් කිරීමේ කටයුතු පසුගිය 2002 වසරේ දී ආරම්භ කර තිබෙන අතර මේ වනවිට වර්ග කිලෝමීටර් 136 ක බිම්බෝම්බ සම්පූර්ණයෙන්ම ඉවත්කර තිබේ. ඊට අමතරව තවත් වර්ග කිලෝමීටර් 27ක බිම්බෝම්බ ඉවත් කිරීමට ඉතිරිව තිබේ.

මෙහිදී වැඩිදුරටත් අඳහස් දක්වමින් පුද්ගල නාශක බිම්බෝම්බ තහනම් කිරීම පිළිබඳ සම්මුතියේ විශේෂ නියෝජිත මිරෙද් අල්-හුසේන් කුමරු පෙන්වා දුන්නේ ත්‍රස්තවාදීන් විසින් වළදමා තිබෙන බිම්බෝම්බ ඉවත් කිරීමේ කටයුතු විවිධ දුෂ්කරතා මධ්‍යයේ සිදුකරන බවත් එය සියලු පාර්ශවයන්ගේ ඇඟයීමට ලක්විය යුතු බවත්ය. බිම්බෝම්බ ඉවත් කිරීමේ කාර්යයේ නිරතවූවන් පමණක් නොව ශ්‍රී ලංකාවේ දේශපාලඥයන් ද මේ කටයුත්තේ දී කැපවීමෙන් කටයුතු කරන බවට පෙනී යන බවද ඒ අනුව එම කටයුතු වෙනුවෙන් ජාත්‍යන්තර මට්ටමින් සහාය හිමිවනු ඇතැයි අපේක්ෂා කරන බවද පැවසීය.

පුද්ගල නාශක බිම්බෝම්බ තහනම් කිරීම පිළිබඳ සම්මුතියේ විශේෂ නියෝජිත මිරෙද් අල්-හුසේන් කුමරු ශ්‍රී ලංකා රජයේ ඇරයුමෙන් පෙරේදා (05) මෙරටට පැමිණි අතර එම සංචාරය අතරතුර උතුරු පළාතේ ක්ෂේත්‍ර සංචාරයක ද නිරත විය. විශේෂ නියෝජිත මිරෙද් අල්-හුසේන් කුමරු එහිදී බිම්බෝම්බ ඉවත් කිරීමේ කටයුතු නිරීක්ෂණය කරන ලද අතර බිම්බෝම්බ ඉවත් කිරීමේ නියෝජිතායතන මෙන්ම බිම්බෝම්බ වින්දිතයන් ද හමුවිය. මෙම සන්දර්භය තුළ, විශේෂ නියෝජිතවරයා, බිම්බෝම්බ ඉවත් කිරීමට සහ ශ්‍රී ලංකාවේ බිම්බෝම්බ වින්දිතයන් වෙනුවෙන් තවදුරටත් ලබාදිය හැකි සහාය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ශ්‍රී ලංකාවේ සිටින එක්සත් ජාතීන්ගේ කණ්ඩායම, සිවිල් සමාජය සහ සෙසු අදාල පාර්ශ්ව හමුවීමට ද අපේක්ෂා කරයි.

මානුෂිය මෙහෙයුම්වලින් අනතුරුව එල්.ටී.ටී.ඊ පාලනයෙන් මුදාගන්නා ලද ප්‍රදේශ ත්‍රස්තවාදීන් විසින් වළදමන ලද බිම්බෝම්බ සහ මර උඟුල්වලින් ගහණව පැවතුණු අතර එය උතුරු සහ නැඟෙනහිර දෙපළාතේම වර්ග කිලෝමීටර් 5,000ක් පමණ බවට ඇස්තමේන්තු කර තිබේ. මේ අතුරින් වැඩි බිම් ප්‍රදේශයක් කිලිනොච්චි සහ මුලතිව් දිස්ත්‍රික්කවලට අයත්වන නමුත් වර්ග කිලෝමීටර් 80ක් හැර ඉතිරි සියල්ල සිවිල් ජනතාවගේ පරිහරණය සහ කෘෂිකර්ම කටයුතු වෙනුවෙන් මේ වනවිට නිදහස් කර ඇත. පොකුරු බෝම්බ භාවිතය, නිෂ්පාදනය, පැවරීම සහ රැස් කිරීම තහනම් කරන එක්සත් ජාතීන්ගේ නෛතික ලියැවිල්ලට මේ වනවිට ශ්‍රී ලංකාව අත්සන් තබා තිබෙන අතර ඒ අනුව පොකුරු බෝම්බ සම්බන්ධ ජාත්‍යන්තර සම්මුතියට (ඔස්ලෝ සම්මුතියට) අත්සන් තැබූ 103 වෙනි රට බවට ශ්‍රී ලංකාව පත්ව ඇත.

ඊට අමතරව පසුගිය 2017 වසර අවසානයේ දී පුද්ගල නාශක බිම්බෝම්බ තහනම් කිරීමේ සම්මුතියේ 163 වෙනි රාජ්‍ය පාර්ශවය බවට පත්වෙමින් ශ්‍රී ලංකාව එයට ද අත්සන් තැබූ අතර 'ඔටාවා සම්මුතිය' නැතහොත් 'බිම්බෝම්බ තහනම් කිරීම පිළිබඳ සම්මුතිය' යනුවෙන් එය හැඳින්වේ. 'පුද්ගල නාශක බිම්බෝම්බ භාවිතා කිරීම, රැස් කිරීම, නිෂ්පාදනය කිරීම, හා පැවරීම තහනම් කිරීමේ සහ ඒවා විනාශ කිරීම පිළිබඳ මෙම සම්මුතියේ අරමුණ වනුයේ ලොව පුරා පුද්ගල නාශක බිම්බෝම්බ භාවිතය අවසන් කිරීමය.

මිරෙද් රාද් සෙයිද් අල්-හුසේන් කුමරු 2004 සිට ජෝර්දානයේ බිම්බෝම්බ ඉවත් කිරීම සහ පුනරුත්ථාපනය පිළිබඳ ජාතික කමිටුවේ සභාපතිවරයා වශයෙන් සේවය කරන අතර 2009 වසරේ දී පුද්ගල නාශක බිම්බෝම්බ තහනම් කිරීම පිළිබඳ සම්මුතියේ විශේෂ නියෝජිතවරයා වශයෙන් පත්කළ තැන් පටන් ඔහු ලොවපුරා පුද්ගල නාශක බිම්බෝම්බ තහනම් කිරීම ප්‍රවර්ධනය කිරීම උදෙසා එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ සාමාජික රාජ්‍ය සමඟ සුවිසල් කාර්ය භාරයක් ඉටුකර තිබේ.

පුනරුත්ථාපන, බන්ධනාගාර ප්‍රතිසංස්කරණ, නැවත පදිංචි කිරීමේ හා හින්දු ආගමික කටයුතු ඇමැති ඩී.එම් ස්වාමිනාදන්, යාපනය දිස්ත්‍රික් ලේකම් සුන්දරම් අරුමයිනායගම්, යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජනරාල් දර්ශන හෙට්ටිආරච්චි මහත්වරු ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.


උපුටා ගැනීම දිනමිණ පුවත් පත ඇසුරෙනි

More News »