සාක්ෂිය හැංගීමේ මහ මොළකරු හිටපු ජ්‍යෙ. නි. පොලිස්පති ප්‍රසන්න

Mar 03, 2018 09.29am
feature-top
සන්ඩේ ලීඩර් පුවත්පතේ කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතාගේ අබිරහස් ඝාතනයට අදාළ ප්‍රබල සාක්කියක් වන ඔහුගේ ක්ෂේත්‍ර සටහන් පොත අස්ථානගත කිරීමට හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රසන්න නානායක්කාර ඍජු බලපෑම් එල්ලකර ඇති බවත්, මෙහි මහමොළකරු ඔහු බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (02) ගල්කිස්ස ප්‍රධාන මහේස්ත්‍රාත් ‍මොහොමඩ් සහබ්දීන් මහතා හට ප්‍රකාශ කර සිටි‍යේය.

හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති මේ ඝාතන සිද්ධියට අදාළ වැදගත්ම සාක්ෂි විනාශ කිරීමට කනිෂ්ඨ නිලධාරීන් යොදාගෙන ඇති බවත්, ඊට අනුගතවෙමින් තිස්ස සුගතපාල ද ක්‍රියා කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසා සිටි‍යේය.

ප්‍රසන්න නානායක්කාර මහතා ළඟ අවසාන වශයෙන් වැදගත් සාක්ෂි ඉතුරුවී ඇති බවද ඔහුට ඊට අනුබල ලබාදුන්නේ කවරෙක් දැයි දැන ගැනීමට අවශ්‍ය බවද අපරාධ පරීක්ෂණ දෙපාර්ත‍මේන්තුව පවසා සිටියේය.

තිස්ස සුගතපාල මහතා වෙනුවෙන් පෙනී සිටි ජනපති නීතිඥ හේමන්ත අනුරුද්ධ ප්‍රකාශ කර සිටියේ, ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතන සිද්ධියට අදාළව වැදගත් තොරතුරක් නොතිබූ අවස්ථාවක තිස්ස සුගතපාල ස්වකැමැත්තෙන් ඔහු සතුව තිබූ සාක්ෂි සටහන් පොලිස්පතිවරයා වෙත භාර දී ඇති බවත්, තිස්ස සුගතපාල මේ කරුණු හෙළි නොකර සිටියා නම් පස් යට වැළලි තිබූ මේ ඝාතන සිද්ධියෙහි කරුණු හෙළි නොවන බවත්ය.

හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රසන්න නානායක්කාර වෙනුවෙන් පෙනී සිටි ජනපති නීතිඥ අනිල් සිල්වා ප්‍රසන්න නානායක්කාර මහතාගේ රෝගී තත්ත්වය සලකා බලමින් ඇප ඉල්ලීමක් ඉල්ලා සිටි අතර එහි දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසා සිටියේ ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනයට අදාළව පළමු මරණ පරීක්ෂණය සිදු කළ සුනිල් කුමාර ලසන්ත වික්‍රමතුංග මහතා වෙඩි තබා ඝාතනය කර ඇති බවට කරුණු හෙළි කළ ද, වෛද්‍ය සභාව විසින් සිදුකළ මරණ පරීක්ෂණයෙන් මොට ආයුධයකින් පහර දී ඝාතනය සිදුකර ඇති බවට කරුණු හෙළි වූ බවයි.

පළමු වෛද්‍ය පරීක්ෂණය සිදු කළ සුනිල් කුමාර ප්‍රසන්න නානායක්කාරගේ ඥාතියකු වන බැවින් ද, තිස්ස සුගතපාල මහතා හට සාක්ෂි වසන් කිරීමට ඍජු බලපෑම් එල්ල කර අති බැවින් ද ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරන මෙන් මහේස්ත්‍රාත්වරයාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියේය.

ඉදිරිපත් කළ කරුණු සලකා බලමින් මහේස්ත්‍රාත්වරයා පවසා සිටියේ දැනට විමර්ශන කටයුතුවලින් හෙළිකරගත් කරුණු මඟින් ප්‍රසන්න නානායක්කාර වෙත බරපතළ චෝදනා එල්ලවී ඇති බැවින් ඇප ලබාදිය නොහැකි බවයි.

ඒ අනුව ඊයේ (02) ගල්කිස්ස ප්‍රධාන මහේස්ත්‍රාත් මොහොමඩ් සහබ්දීන් මහතා එළැඹෙන 15 වැනිදා දක්වා තිස්ස සුගතපාල සහ ප්‍රසන්න නානායක්කාර රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසට නියෝග කළේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ‍ඉදිරිපත් කළ ඉල්ලීමකට අනුව තිස්ස සුගතපාල මහතාගෙන් සහ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රසන්න නානායක්කාර මහතාගෙන් වැඩි දුර ප්‍රකාශ ලබා ගැනීමට මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවසර ලබාදුන්නේය.

උපුටා ගැනීම දිනමිණ පුවත් පත ඇසුරෙනි

More News »