ඌව මහ ඇමැති මානව හිමිකම් කොමිසමට යයි

Feb 02, 2018 09.10am
feature-top
බදුල්ල දෙමළ බාලිකා විදුහලේ විදුහල්පතිනි ආර්. භවානි මහත්මිය දණගැස්වූ බව කියන සිදුවීමක් පිළිබඳ පවත්වන විමර්ශනය සම්බන්ධයෙන් ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා ඊයේ (01) මානව හිමිකම් කොමිසන් සභාව හමුවේ පෙනී සිටිමින් ප්‍රකාශයක් ලබා දුන් බව කොමිසන් සභාවේ සභාපතිනි ආචාර්ය දීපිකා උඩගම මහත්මිය පැවැසුවාය.

මානව හිමිකම් කොමිසන් සභාව ප්‍රධාන අමාත්‍යවරයාට සිතාසි නිකුත් කර ඇති අතර ඊට ප්‍රතිචාර දක්වමින් ඒ මහතා කොමිසම හමුවේ ඊයේ පෙනී සිටි බව කොමිසන් සභාවේ සභාපතිනි ආචාර්ය උඩගම මහත්මිය දිනමිණ කරන ලද විමසීමක් හමුවේ ප්‍රකාශ කළාය.

ප්‍රධාන අමාත්‍යවරයා නීතිඥවරුන් දෙදෙනකු සමඟ කොමිසම හමුවේ පෙනී සිටි බව ආරංචි මාර්ග පවසයි. අදාළ සිදුවීම පිළිබඳ විදුහල්පතිනිය අධ්‍යාපන නිලධාරින් ඇතුළු කිහිපදෙනකුගෙන්ද කොමිසම ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.

විමර්ශනවලදී තවදුරටත් යම් පාර්ශ්වකරුවකු ගෙන්වීමේ අවශ්‍යතාවක් පැන නැගුණහොත් නැවතත් එම පාර්ශ්වකරු කැඳවන බවත් ආරංචිමාර්ග පවසයි.

සියලුම ප්‍රකාශ අධ්‍යයනය කිරීමෙන් පසු කොමිසන් සභා පනත ප්‍රකාරව කොමිසන් සභාව අවසන් නිගමනයකට එළඹෙන බවත් ආචාර්ය උඩගම මහත්මිය ප්‍රකාශ කළාය.



උපුටා ගැනීම දිනමිණ පුවත් පත ඇසුරෙනි

More News »